බරපතල තත්වය පාලනයට දින 14කට හරි රට වහන්න : වෛද්‍ය සංගම් රජයට බල කරයි

බරපතල ලෙස පැතිර යන කොවිඩ්-19 වසංගතය පාලනය කර ගැනීම සඳහා රටටම අවම දින 14ක දැඩි සංචරණ සීමා පනවන ලෙස වෛද්‍ය සංගම් හතරක් රජයෙන් දැඩි ඉල්ලීමක් කර තිබෙනවා.

අද (21) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවේ මෙම තීරණය ආර්ථික වශයෙන් රටට බලපෑමක් ඇතිවන නමුත් මේ භාරදුර අවස්ථාවේ එය හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.


ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව ඒකාබද්ධවයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

මේ වන විට දිනකට රෝගීන් 3000ක් පමණ හඳුනා ගැනීමෙන් ඊට වඩා තුන්ගුණයකින් එනම් 10,000 ඉක්මවා රෝගීන් සිටින බව පෙන්නුම් කරන බව ද රෝහල් තුළ වෙනත් රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන වාට්ටු ද කොවිඩ්-19 රෝගීන් සඳහා වෙන්කිරීමට සිදුව ඇති බව ද දැඩි සත්කාර ඒකක ද කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියා ය.

එබැවින් පවතින බරපතල තත්වය පාලනයට දින 14කට හෝ රට වසනවා හැර වෙනත් විකල්පයක් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න වැඩිදුරටත් කියා සිටින්නේ.

 

Search