වෛරී භාෂාවට අනිකා රිදවීම මෙන්ම සමාජයක් ගිනි තබන්න පවා හැකියාවක් ඇති බව සිනමාවේදී අශෝක හඳගම පවසනවා.
"වෛරයේ භාෂාව අපි දේශපාලන අර්ථයෙන් තේරුම් ගත්තොත් අපිට කියන්න පුලුවන් කිසියම් පුද්ගලයෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් විසින් තවත් පුද්ගලයෙකු හා කණ්ඩායමක් වෙතට ඔවුන්ගේ ජාතිය, ආගම, කුලය ආදී වශයෙන් විවිධ සමාජ බෙදීම් ඉලක්ක කරගෙන ඔහුව හෝ ඒ කණ්ඩායම හෙළා දකිමින් කරන ප්‍රකාශයක් කියලා. ඒක ඇත්තටම වෛරය අවුළුවන ප්‍රාකාශයක්. කෝපය හා අනිකා රිදවන, ඔවුන් තුල වේදනාව ඇති කරන ප්‍රකාශයක්. මේක ඇත්තටම මානසික ලෙඩක්. රෝගී තත්වයක්. කෙනෙකුට අනිත් කෙනාව තමන් වගේම මනුෂ්‍යයෙක් හැටියට දකින්න තියෙන නොහැකියාව නිසා ඇතිවෙන තත්ත්වයක්. මේක දේශපාලනිකව පාවිච්චි කරනවා බලය ලබා ගැනීම සඳහා කෙරෙන අරගලයේදී.
මේක ඇත්තටම සමාජයක් ගිණි තියන්න පුලුවන් තත්ත්වයක්. මම මේක මගේ නිර්මාණ ඇතුලේ කතා කරා, නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටලි නාට්‍යයේ පැහැදිළිවම ඒකේ මේ වෛරී භාෂාව පිළිබඳ එක දෙබස් කණ්ඩයක් තියෙනවා. ඒක ඇතුලේ සංශිප්තව සහ ඉතාමත්ම ගැඹුරින් මේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ එක්කම තමයි මේකේ අනික් පැත්ත. වෛරී භාෂාව විසින් අනිකා රිදවන සහ ගිණි අවුළුවන්න පුලුවන් වගේම තමයි අනික් පැත්ත ගත්තොත් එහෙම යහපත් භාෂාවකට පුලුවන්, ගිණි වැදුණු සමාජයක්, ඇවිළුණු සමාජයක්, කැළඹුණු සමාජයක් සමතයකට පත් කරන්න. ඉතින් මේ දෙකම පාවිච්චි කරනවා බලය ලබා ගැනීම සඳහා සහ බලය පවත්වාගෙන යෑම සඳහා දේශපාලකයන් විසින්. මෑත අවුරුදු දෙක තුනක වගේ අතීතය අරන් බැලුවොත් එහෙම අපිට හමුවෙනවා මේ වගේ අවස්ථා ගොඩක්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වඳ පෙති පිළිබඳ තත්වය, ඒ වගේම පාස්කු ප්‍රහාරය. මේ ඇතිකරපු කැළඹීම් තත්වය මොකක් හරි හේතුවකට මහා පරිමාණ ගැටුම් දක්වා වර්ධනය වුණේ නෑ වාසනාවකට.
ඒ වුනාට අවධි අවස්ථාව කියන බෝම්බය උඩ තමයි අපි මේ ඉන්නේ. මේක කල්පනාවෙන් කළමණාකරණය කර ගත යුතු තත්වයක්. අපි මේ තත්ත්වය හරියට කළමණාකරණය කර ගත්තේ නැත්නම් මම හිතනවා අනාගතය මහා ව්‍යසනකාරී තත්වයකට යන්න පුලුවන්. මෙතනදී අපි ජනතාවක් විදිහට, සමාජයක් විදිහට පරිස්සමින් කටයුතු කරන්න ඕන. ඒ එක්කම මේ මොහොත අපි යොදාගත්තේ මේ ගැටලුකාරී තත්වයන් සමනය කරගැනීමට උදාවූ අවස්ථාවක් හැටියට, අපිට පුලුවන්කම ලැබෙනවා මේක අතික්‍රමණය කරලා මීට වඩා සංවර්ධනීය අවධියකට මේ රට ගෙන යන්න. කැඳවාගෙන යන්න."