″2025 දර්ශනය″ පිළිබඳ විවේචනාත්මක අගැයීමක් - රොහාන් සමරජීව

 

″2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාව ධනවත් රටක් බවට පත් කිරීම අපේ දර්ශනයයි. ශ්‍රී ලංකාව, දැනුම පදනම් කරගත්, ඉහළ තරඟකාරිත්වයකින් යුතු, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය වටිනකාමක් දරන සමාජ වෙළඳපල ආර්ථිකයක් බවට පත්කිරීමෙන් එම අදහස මුදුන් පමුණුවා ගැනීමට අපි කටයුතු කරමු″


බලයේ සිටින සන්ධාන ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ඉහත අයුරින් සංක්ෂිප්තව ඉදිරිපත් කර තිබේ. ප්‍රතිපත්ති ප්‍රකාශන විෂයෙහි ආණ්ඩුව මින් පෙර දරන ලද ප්‍රයත්නයන් දෙක සමග සසඳා බලන කල මේ තුන්වැන්න මෙතෙක් ප්‍රකාශයට පත් කරන ලද හොඳම ලේඛනය ලෙස හැඳින්විය හැක. මුල් ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් අනතුරුව සිදුකරන ලද අය-වැය කතා, එම ප්‍රකාශන වලින් බොහෝ සෙයින් වියුක්තව පැවති බව සහ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති සහමුලින්ම කඩාකප්පල් කර දැමීම සඳහා සැලසුම් කරන ලද බවක් පෙනිනි. එහෙයින්, මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ද ආණ්ඩුව සැබෑ වුවමනාවක් ඇතිව ඉදිරිපත් කර ඇත්තේ ද යන්න විමසා බලන පරීක්ෂණය වනු ඇත්තේ නව මුදල් ඇමතිවරයා විසින් තව සති කිහිපයකින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අය-වැය කතාවයි.


ආණ්ඩුව තුල එකඟතාවයක් තිබේ ද?

ආර්ථික දර්ශනයක සාර්ථක භාවය රඳා පවතිනුයේ ඊට සම්බන්ධ ප්‍රධාන පාර්ශවකරුවන් සියල්ල නොවෙතත් අවම වශයෙන් එයින් බහුතරයක එකඟතාවය ඒ සඳහා ලැබෙන්නේ ද යන්නය මත ය. නවීන වාණිජ රාජ්‍යයක් පිළිබඳ ජයවර්ධන-ද මැල්-ඇතුලත්මුදලි දර්ශනය සාර්ථක ආර්ථික දර්ශනයක හොඳම උදාහරණයකි. එම දර්ශනය ඉදිරිපත් කිරීමෙන් පසුව කිසිම අවස්ථාවක දී එයට පෙර මේ රටේ පැවති හාල් පොලු- මිරිස් පොලු දර්ශනය වෙත අප ආපසු රැගෙන යාමට කිසිවෙක් උත්සාහ කලේ නැත.


′කේන්ද්‍රයක්′ තැනීම 2025 දර්ශනය තුල දක්නට ලැබෙන ප්‍රධාන රූපකයයි. රාජපක්ෂ ආණ්ඩුවේ දෙවන ධූර කාලයේ ඉදිරිපත් කරන ලද ආර්ථික ප්‍රකාශනයන් තුල ද එම රූපකයට ප්‍රධාන තැනක් දී තිබිනි. එහෙයින්, මේ දිවයින අපේ කළාපයට ′කේන්ද්‍රීය සේවා′ සපයන ස්ථානයක් බවට පත්කිරීම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුලම පවතින පොදු අදහසකැයි පිලිගැනීමට අපට සිතේ.


නමුත් පවතින ගැටළුව නම් බොහෝ දේශපාලකයන් සහ ඔවුන්ට උපදෙස් සපයන විද්වතුන් කේන්ද්‍රය (hub යන වචනයට හරියටම ගැලපෙන සිංහල වචනයක් නොමැති හෙයින් කේන්ද්‍රය භාවිත කිරීමට සිදුවී ඇත) යන අදහස සැබෑ ලෙස වටහා ගන්නට අපොහොසත් වීමයි. ජනාධිපති මැතිවරණයට කලින් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද පංචබල කේන්ද්‍රය පිළිබඳව තක්සේරුවක් කරමින් ඒ අවස්ථාවේ දී මම මෙසේ ලියූවෙමි.
″ hub (කේන්ද්‍රය) යන ඉංග්‍රීසි වචනයෙන් අදහස් වන්නේ රෝදයක මධ්‍යම කොටස වන අතර එය ඇක්සලය මත හෝ එය සමග කරකැවෙන අතර රෝදයේ ගරාදි එහි සිට ආරම්භ වේ. ප්‍රධාන කොටස hub එක හෙවත් රෝදයේ කේන්ද්‍රය නොවේ. කේන්ද්‍රයේ වැදගත්කම රෝදයේ සෙසු කොටස සමග එහි පවතින සම්බන්ධතාවයයි. අවධානය යමු විය යුත්තේ කේන්ද්‍රය වෙත නොව රෝදය වෙතයි.


ඒ ආකාරයෙන්ම, ආණ්ඩුව රූපකාකාරයෙන් දක්වන කේන්ද්‍රය ද රෝදයේ සෙසු කොටස් සැලකිල්ලට ගැනීමෙන් තොරව ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ. මෙම දිවයින, ප්‍රධාන කොටසයැයි කල්පනා කරන අපේ පටු මානසිකත්වය යළිත් යළිත් මතු වී ඒම මෙහි දී පවතින විශාලතම බාධකයයි.
මිලියන 20 ක ජනතාවක් වෙසෙන මේ කුඩා දිවයින ඉක්මවා යන්නට අපේ චින්තනය අසමත් වන තාක් කල් සාර්ථකත්වය ලැබීම සඳහා අපට පවතින ඉඩ කඩ සීමා සහිත ය. Hub එකක් දෙපසට ක්‍රියා කරන ධාරාවලින් අනිවාර්යෙන්ම සමන්විත යුතු බව අප තේරුම් ගන්නා තුරු අපේ උපායමාර්ග සාර්ථක වනු ඇත්තේ අර්ධ වශයෙන් සහ අහම්බෙනි.

v

 

මෙහි දී කේන්ද්‍රය හෙවත් hub එකක් යන්නෙහි සැබෑ අරුත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදෙස් සැපයූ උපදේශකයින්ට සහ නිදහස් වෙළඳාමට විපක්ෂ වූ කණ්ඩායම් වලට මම ඉදිරිපත් කළ අවස්ථාවේ දී එම අදහස දැඩිව ප්‍රතික්ෂේප කරනු ලැබිනි. එහෙයින්, මෙහි මුල දී සඳහන් කළ ආර්ථික ප්‍රතිපත්තියට යම් එකඟතාවයක් පවතී නම් එය මතුපිටින් පමණක් පවතින්නක් බව මට කිවහැක. මේ කණ්ඩායම් වල පටු මානසිකත්වය වෙනස් කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබේ.


දර්ශනය ක්‍රියාත්මක කළ හැකි ද?

2025 දර්ශනයේ 13 වන කොටසේ මෙසේ සඳහන් කර ඇත: ″වඩා ශක්තිමත් අධීක්ෂණයකින් සහ සම්බන්ධීකරණයකින් යුතුව ඵලදායීව ක්‍රියාවට නැංවීමෙන් තොරව ප්‍රතිපත්ති සහ ව්‍යාපෘති ඵල නොදරනු ඇති බව අපි දනිමු.”

1977 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිදහස් කිරීම් අරඹන අවස්ථාවේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුර දැරූ ලාල් ජයවර්ධන මහතාට මේ රටේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් තිබින. ඔහු පැවසුවේ, ඕනෑම ප්‍රතිසංස්කරණයක් ක්‍රියාවට නැංවීම සඳහා තෝරා ගත යුතු වන්නේ නව රජයක පළමුවන වසර බවයි. මේ ආණ්ඩුවේ පළමු වසර තුල හෝ දෙවන වසර තුල ආර්ථික අතින් වැඩි යමක් සිදු නොවිනි. ආර්ථිකයේ භාරකාරත්වය දරන අගමැතිවරයාට ඔහුගේ අදහස් ක්‍රියාවට නංවා ගැනීම පිණිස හොඳ කණ්ඩායමක් සංවිධානය කර ගැනීමට නොහැකි විය. කිසිදු වෙළඳ ගිවිසුමක් අත්සන් නොතැබිනි. සැලකිය යුතු සාර්ථකත්වයක් අත් කරගත් අවස්ථා ලෙස දැක්විය හැක්කේ GSP Plus සහනය යළි ලබා ගැනීම සහ දේශීය ආදායම් පනත සම්මත කරගැනීම පමණකි.

මෑතක දී සිදුකරන ලද ඇතැම් වෙනස්කම් වලින් පෙනුනේ ආණ්ඩුවට විවේචන ඇසී ඇති බවයි. එහෙත්, මේ වන විට ප්‍රමාද වී වැඩි ද? ඒ සඳහා නිදහසට කරුණු ද ආණ්ඩුවේ ලේඛනය තුලම මෙසේ අඩංගු වී තිබේ. ″සියළුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ගේ සේම, ප්‍රගතිය බොහෝ විට රේඛීයව සිදුවන්නක් නොවේ″.

20170904 154529
ප්‍රතිපත්ති පරස්පර විරෝධීද?

වක්‍ර බදු මත අනවශ්‍ය ලෙස යැපීම අඩුකිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව දැක්වෙන සාධාරණ තර්කයක අතර මැද මෙම වාක්‍යය දක්නට ලැබේ: ″ආදායමේ ඉහළ නැංවීමේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් බදු නොවන ආදායම් ප්‍රවර්ධනය කිරීමට අපි කටයුතු කරන්නෙමු.″

ආණ්ඩුව විසින් භාණ්ඩ සහ සේවා සැපයීම මගින් උපයන ලාභ බදු නොවන ආදායම් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, එමිරේට්ස් ආයතනය විසින් කළමනාකරනය කරන කාලයේ දී ලාභාංශ වශයෙන් ආණ්ඩුවට ලැබුනු ආදායම ගෙන හැර දැක්විය හැක. බදු නොවන ආදායම් වැඩි වශයෙන් ජනනය කිරීමට නම් රාජ්‍ය ව්‍යවසායයන් සැබවින් වැඩි ආදායම් ලබන ආයතන බවට පත්විය යුතු ය. බදු නොවන ආදායම් ප්‍රවර්ධනය කර ගැනීමට නම් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නැවත ජනසතු කිරීමෙන් පසුව සිදුවූ වැනි මහා පරිමාන පාඩු වලක්වා ගත යුතු වේ.

අප රටේ රාජ්‍ය ව්‍යවසායයන් අතරින් වැඩි කොටසක් අලාභ ලබන අතර එසේ නොවන්නේ ඒකාධිකාරයන් ලෙස දේශීය වෙළඳපලට සැපයුම් කරන ආයතන හෝ රාජ්‍ය පෞද්ගලික හවුල්කාර ආයතන ලෙස ක්‍රියාත්මක වන ආයතන පමණි. මේවා දේශපාලන හිතවතුන්ගෙන් පිරුණු අධ්‍යක්ෂ මණ්ඩල විසින් පාලනය කරනු ලබයි. හිටපු ජනාධිපතිවරයා ගේ මස්සිනා විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බිංදුවට බැස්සවීම මීට උදාහරණ කොට දැක්විය හැක. රාජ්‍ය ව්‍යවසායයන්හි දක්ෂකම් ඇති කළමනාකරුවන් සිටින අවස්ථාවලදී පවා එම ආයතන කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ට කිසිදු දිරිගැන්වීමක් නැත. වෙළඳපල බලවේගයන් වෙතින් ආරක්ෂා කර තිබීම සහ අය-වැය සීමාවන්ගෙන් තොරවීම නිසා ආර්ථිකයේ අනෙකුත් කොටස් වලට බර පටවමින් රාජ්‍ය ව්‍යවසායයන් ඔහේ ක්‍රියාත්මක වේ.

තත්වය මෙසේ තිබීයදී බදු නොවන ආදායම් ප්‍රවර්ධනය කරන බව ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ලියවිල්ල සඳහන් කරයි.

image 1504543811 5be971071c


මෙම ආශ්චර්යමත් ප්‍රතිපලය නිර්මාණය කරගන්නේ කෙසේ ද?


″වාණිජමය වශයෙන් ලාභදායී ලෙස සහ වගවීමෙන් කටයුතු කිරීමට හැකිවන ලෙස අපි රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කරමු. රාජ්‍ය ව්‍යවසායයන් විසින් සපයනු ලබන භාණ්ඩ සහ සේවා වල මිල, ඉල්ලුම සහ සැපයුම අනුව තීරණය වනු ඇති අතර යම් ආකාරවූ සහනාධාර සැපයෙන්නේ නම් ඒවා ජනගහනයේ ඉලක්කගත කොටස් වෙත විනිවිද පෙනෙන ආකාරයකින් ඍජුව සැපයේ. මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා වන ක්‍රියාකාරකම් රාමුව තෝරා ගත් රාජ්‍ය ව්‍යවසායයන් ගේ ආයතනික අභිප්‍රාය ප්‍රකාශය (Statements of Corporate Intent) තුලින් සපයනු ලැබේ″

1960 දශකයේ ජනසතු රැල්ලෙන් පසු සියළු දේශපාලන පක්ෂ විසින් ලබා දෙන ලද රාජ්‍ය ව්‍යවසාය කාර්යක්‍ෂම කිරීමේ පොරොන්දු සහ ඉහත කී ප්‍රකාශය අතර ඇති වෙනස කුමක් ද? ඉන්ධන සහ විදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවට 2015 පොදු අපේක්ෂකයා ගේ ජනාධිපතිවරණ ප්‍රකාශය තුලින් දුන් පොරොන්දුව තවමත් ඉටුකිරීමට අසමත් වූ ආණ්ඩුවක් පවසන මේ කතාවල ඇති විශ්වසනීයත්වය කුමක් ද?

″ආයතන අභිප්‍රාය ප්‍රකාශය″ යනු රාජ්‍ය ව්‍යවසායයන් ගේ වගවීමක් නැතිකම යන ප්‍රශ්නයට දී ඇති අතිශය දියාරු විසඳුමකි. අවම වශයෙන් මේවායේ කොටස්වලින් සුළු ප්‍රමාණයක් හෝ කොටස් වෙළඳපල තුලට හරවන්නට වත් යෝජනා නොකරන ලද්දේ මන් ද? එසේත් නැතිනම් ඒවායේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ට කාර්යසාධන ගිවිසුම් ලබා දෙන්නට යෝජනා කරන්නට නොතිබුනේ ද? එම ප්‍රකාශය පෙනෙන්නේ ආණ්ඩුවේ සන්ධානය තුල ඇති පෞද්ගලිකකරණයට ඇති විරෝධයට මැදුම් සම්මුතියක් ලෙසිනි.


අවසාන වශයෙන්


මා මෙහිදී තෝරා ගත්තේ වැදගත්, දුර්වල ස්ථානයක් කිහිපයකි. මේ ආකාරයේ ප්‍රකාශන සමග සසඳා බලන කල 2025 දර්ශනය හොඳ දෘශ්‍ය ඉදිරිපත් කිරීම් සහ ඥාණාන්විත චින්තනයක් පෙන්නුම් කරන ප්‍රශස්ත ලේඛනයකි. ආණ්ඩුවේ සේවකයන් නොවන අනෙක අයටද දායක විය හැකි විශ්‍රාම වැටුප් ක්‍රමය සහ නිරවුල්ව අයිතිය පැවරිය හැකි ඉඩම් ඔප්පු ලබා දීම වැනි පොරොන්දු මගේ විශේෂ කැමැත්ත දිනා ගත් තැන් වේ.

කෑමේ රස දැනෙන්නට නම් ඒ අනුභව කළයුතුම වන අතර අනුභවය ඇරඹෙන්නේ 2018 අය-වැය සමගිනි. 2020 වර්ෂය වන විට මේ ලියවිල්ලේ අඩංගු කරුණු වලින් සියයට 50 ක් ක්‍රියාවට නංවා ගන්නට සමත් වුවහොත් 2025 වන විට පොහොසත් රටක් බවට පත්වන ගමනේ අප බොහෝදුරක් ගමන් කළා වනු ඇත.

රාවය පුවත්පතේ මහාචාර්ය රොහාන් සමරජීව පලකල ලිපියකි

Search