පරණ කෞතුක භාණ්ඩ අලෙවිකරන සාප්පුවකට ගොඩ වැදුණු මිනිසෙක් එහි විකිණීමට තිබූ පිත්තල මීයකුගේ මිල කීයදැයි ඇසුවා.
‘‘පිත්තල මීයාට දෙසිය පනහයි. හැබැයි උගේ කතන්දරේට රුපියල් දහදාහයි.‘‘
‘‘මට කතන්දරෙන් වැඩක් නෑ. පිත්තල මීයා දෙන්න.‘‘
රුපියල් දෙසිය පනහක් ගෙවා පිත්තල මීයා මිලට ගත් මිනිසා එළියට බැස්සා. වීදිය දිගේ ඉදිරියට යන විට මුළු වීදියේ ම සැඟ වී සිටි මීයන් ඔහු පිටුපසින් පැමිණියා.
ඔහු තවත් වීදියකට ගියා. ඒ වීදියේ හිටපු මීයොත් එකතු වුණා. අතුරු පාරකින් හැරුණා. තව තවත් මීයන් එකතු වුණා. ‘මුං එක්ක ගෙදර යන්න බෑ. දැන් මොකද කරන්නේ?‘ මිනිහා කල්පනා කළා.
අදහසක් කල්පනා වුණා. ඔහු ගඟට බැස්සා. මීයන් ද ගඟට බැස්සා. උන් ඔක්කොම ගිලිලා මැරුණා. පිත්තල මීයා ගඟට විසි කළ ඔහු නැවතත් සාප්පුවට ගොඩ වුණා.
‘‘මං දන්නවා මහත්තයා ආපහු ආවෙ ඇයි කියලා. කමක් නෑ. මට දහදාහක් ඕන නෑ. නව දාහක් දෙන්න මං කතන්දරේ කියන්නම්.‘‘ වෙළෙන්දා කිව්වා. ‘‘තමුසෙගෙ උලව් කතාවෙන් මට වැඩක් නෑ. පිත්තල දේශපාලනඥයෙක් ඉන්නවා නම් මට දෙනවා. ගාන කීයක් වුණත් ප්‍රශ්නයක් නෑ.‘‘ මිනිසා කිව්වා.
මහින්ද ගුණවර්ධන