ජනපතිගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් – විපක්ෂ නායක සජිත්

ජනපතිගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් – විපක්ෂ නායක සජිත්

බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනාමාන කිරීම ගැන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අන්තවාදයට උඩගෙඩි දීමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බුද්ධ ශාසනයට සුවිශේෂී තැනක් ලැබෙන බවත් එහි සඳහන් ආකාරයට බුදු දහම ආරක්ෂා කිරීම, සුරක්ෂිත කිරීම හා රැකගැනීම සිදු කිරීමත් සෙසු ආගම් හා සංස්කෘතීන්ට නිශ්චිත නියමිත ආරක්ෂාව හා රැකවරණය ලබාදීමත් සෑම විටම මේ රට ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාව ඒකීයභාවය රැක ගනිමින් සහෝදරත්වය සංහිඳියාව ප්‍රවර්ධනය වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඉදිරියට ගෙන යෑම පවතින රජයේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් පසුගිය දිනක ජනාධිපතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ඉන් ඔබ්බට ඇති ආගමික සිද්ධස්ථානය වන්දනාමාන කිරීම වෛරය ඇති කරන සිදුවීමක් බවට ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත් රට පුරා විහිදී ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීමේ අයිතිය ජනතාවට ඇති බවත් ඔහු කීවේය. ඒවා සිදු වන්නේ වෛරය මුල් කරගෙන නොවන බවත් සොළොස්මස්ථාන වන්දනාමාන කරන විට අප රටේ විහිදී ඇති බොහෝ ප්‍රදේශවලට යන්න ජනතාව පෙළඹෙන බවත් ආගම් භේදයෙන් තොරව බෞද්ධ ආගමික සිද්ධස්ථාන වන්දනා කරන බවත් උතුරේ සිට කැබිලිත්ත වන්දනා කරන්න එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රිස්තියානි කතෝලික සිද්ධස්ථාන පවා වන්දනා කරන මොහොතක ආගමික කටයුතුවල නිරත වන විට කිසිදින වෛරය මුදුන් පත් වනවා යැයි නොසිතන බවත් සෑම කොටසකම කුඩා අන්තවාදී කොටස් සිටින බවත් ඔවුන්ට තැනක් නොමැති බවත් බුදු දහමට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමන කරන ජනතාව සිටින අප රට තුළ අන්තවාදයට තැනක් නැති බවත් අන්තවාදය නිර්මාණය වන මෙවැනි ප්‍රකාශ ද සිදු නොවිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

ප්‍රදේශය පළාත කුමක් වුවත් ආගම් කටයුතු වෛරය මුදුන් පත් කර ගෙන සිදුවන බවට ප්‍රකාශ කිරීම වැරදි බවත් මෙය අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

Search