කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුව සඳහා සාමාජිකයන් පත්කර ගැනීමට ඊයේ (14දා) පැවැති ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කළ සාමාජිකයින් පස්දෙනාම ඡන්දයෙන් තේරී පත්වී ඇත. පාලන බලය හිමි ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ සියලු අපේක්ෂකයන් පරාජයට පත් වී තිබේ.
එම නගර සභාව සඳහා ස්ථාවර කාරක සභා පත් කරගැනීම ඊයේට නියමිතව තිබූ අතර එහිදී සභාවේ ප්‍රධානම කමිටුවක් වන මුදල් කමිටුව සඳහා නියෝජිතයන් පත් කර ගැනීම සිදු කෙරිණි. මෙහි සභාපති ධුරය නිතරගයෙන් නගරාධිපතිනියට හිමි වූ නමුත් ඉතිරි සාමාජිකයන් 05 දෙනා සඳහාම විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කර ගැනීමට හැකිවූ බව කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක රිසා සරූක් මහතා පැවසීය.
අනුර සුජීව, රෝයි බෝගහවත්ත, තරංග ශානක, දයාරත්න පෙරේරා, එම්. අර්ෂාඩ් නිසාම්ඩීන් යන විපක්ෂයේ මන්ත්‍රීවරු මුදල් කමිටුවට පත්වූහ.
මුදල් කමිටුවේ විධායක බලය ආණ්ඩු පක්ෂයට හිමි වූ නමුත් එහි ව්‍යවස්ථාදායක බලය විපක්ෂයට හිමිවූ බැවින් ආණ්ඩු පක්ෂය ඉදිරිපත් කරන හොඳ වැඩ සහ යෝජනාවලදී සහාය දෙන බව ද ජනතාවට අවැඩක් වන යෝජනාවලට විරුද්ධ වන බවද විපක්ෂ නායකවරයා පැවසීය