රට ජාතිය, ආගම පාවාදීලා දේශපාලන බලය රඳාපවත්වා ගන්න අපට ඕන නැහ --දකුණේ අය උතුරේ සිල්ගන්න විට ජාතිවාදී ලේබල් ගහන්න එපා නාමල් රාජපක්ෂ

 රට ජාතිය, ආගම පාවාදීලා දේශපාලන බලය රඳාපවත්වා ගන්න අපට ඕන නැහ --දකුණේ අය උතුරේ සිල්ගන්න විට ජාතිවාදී ලේබල් ගහන්න එපා නාමල් රාජපක්ෂ


දකුණේ ජනතාව යාපනයේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවිහාමුදුරුවන් වැඳපුදාගන්න එන්න එකටත් ජාතිවාදි කියල හංවඩු ගහන්න ලෑස්ති වෙන්න එපා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තඹුත්තේගමදී පැවසීය.

අවස්ථාවාදී දේශපාලනය තුළ තමන්ගේ රට ජාතිය, ආගම පාවාදීලා හරි තමන්ගේ දේශපාලන බලය රඳාපවත්වා ගන්න අපට ඕන කරන්නේ නැහැ යැයි රාජපක්ෂ මහතා තඹුත්තේගම පෙරේදා (17දා) පැවැති රැස්වීමකට සහභාගි වෙමින් පැවසීය.

චමින්ද සිල්වා, ධම්මික සල්වතුර

හෙළ බෞද්ධ සංස්කෘතිය ඇතුළේ සියලු සංස්කෘතීන් ආරක්ෂා වෙන්න ඕනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තඹුත්තේගමදී කියයි
අපි ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නැහැ

වර්තමානයේ අපේ ජනාධිපතිතුමා අපේ ගමට දෙවතාවක් ආවා. මම ටිකක් පරක්කු වුණා. හැබැයි ගරු ජනාධිපතිතුමනි මමත් ඔබේ ගමට ආවා. හැබැයි මම ඔබේ ගමට ඇවිල්ලා වෛරය පතුරවන්නේ නෑ, මම ඔබේ ගමට ඇවිල්ලා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පතුරවන්නේ නෑ. හැබැයි අපි විශ්වාස කරන දේශපාලන ප්‍රතිපත්තියක් තියනවා. අපි විශ්වාස කරනවා මේ රටේ හෙළ සංස්කෘතිය ඇතුලේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකර ගත් සමාජයක් තුළ සියළු සංස්කෘතීන් ආරක්ෂා වෙන්න ඕන යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (17) දින තඹුත්තේගමදී පැවති රැස්වීමකට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අපේ හාමුදුරුවනේ අපි විශ්වාස කරනවා මේ රටේ මහ පොළොවට ආදරේ කරන දේශපාලන බලවේගයක් ගොඩ නැගෙන්න ඕන කියලා. අවස්ථාවාදී දේශපාලනය තුළ තමන්ගේ රට ජාතිය ආගම පවා දීලා හරි තමන්ගේ දේශපාලන බලය රඳා පවත්වාගන්නා දේශපාලනයක් නොවෙයි අපට ඕන කරන්නෙ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ පහුකරගෙන තමයි අපේ හාමුදුරුවනේ නාගදීපෙට යන්නේ දැන් යුද්ධය නෑනේ දැන් යන්න පුලු‍වන්. ඒ වගේම තමයි පල්ලි බොහොමයක් පහු කරගෙන තමයි මිත්‍රවරුණි මඩු මෑණියොත් වන්දනාමාන කරගන්නේ. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි නල්ලූර් දේවස්ථානයේ ඉඳලා යාපනයේ කෝවිල්

ගණනාවක් පහුකරගෙන තමයි පා ගමනින් කතරගම පුදබිමට ඇවිල්ලා කතරගම දෙයිහාමුදුරුවෝ වැඳ

පුදාගන්නේ. ඒක ජාතිවාදය නෙමෙයි. ඒක විශ්වාසය. බෞද්ධයාට නාගදීපය ගැන තියෙන විශ්වාසයම තමයි කතෝලිකයාට මඩු මෑණියන් ගැන තියෙන්නේ. ඒ හා සමාන වූ විශ්වාසයක් භක්තියක් තමයි හින්දු සංස්කෘතිය විශ්වාස කරන කතරගම දෙවි හාමුදුරුවෝ විශ්වාස කරන අයට කතරගම පුදභූමිය ගැන තියෙන්නේ. ඒ භූමිය කඩාගෙන වෙන් කරගෙන පාලනය කරන්නවත් තියන ආසාව නෙමෙයි දෙවියන් කෙරෙහි ආගම කෙරෙහි තියෙන විශ්වාසය. ඒනිසා ඔබ විශ්වාස කරනව නම් ජනාධිපතිතුමනි බෞද්ධ දර්ශනයට ඇඟිල්ල දික් කරලා ඔබේ දේශපාලනය උතුරේ ගොඩනගා ගන්න උතුරේ දමිළ ජනතාව ඒකට සූදානම් නෑ. ඔවුන් සංස්කෘතිය විශ්වාස කරනවා. අපිත් සංස්කෘතිය විශ්වාස කරනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා අද ලෝකේ බොහෝ රටවල ආගමික අර්බුද තියනවා. මහා බි්‍රතාන්‍ය ගත්තත් එහෙමයි ඇමරිකාවේ ගත්තත් එහෙමයි. අද අපේ රටේ ආගමික ප්‍රශ්නයක් නැහැ. ආගම් අතර මරාගෙන ඇනකොටා

ගන්නේ නැහැ. ඇයි ඒ අපේ හාමුදුරුවනේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගිච්ච සමාජයේ අනෙක් සියළු ආගම් රැකෙනවා.

සියළු ආගම් රැකිලා තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය මත මේ මාතෘභූමිය ගොඩනැගිච්ච නිසා. නිර්මල බුදුදහමේ ඉගැන්වීම මත ගොඩනැගිච්ච මේ රටේ ජන සමාජය හැම ආගමකටම හැම සංස්කෘතියකටම ගරු කරනවා. ඒ නිසා දකුණේ ජනතාව යාපනේ සිල්ගන්න යන එකටත් උතුරේ ජනතාව කතරගම දෙවි හාමුදුරුවෝ වැඳපුදාගන්න එන්න එකටවත් ජාතිවාදියෝ කියලා හංවඩු ගහන්න ලෑස්තිවෙන්න එපා. ඒක අපේ විශ්වාසය සහ බැඳීම. මම එකකට සතුටු වෙනවා. මගේ තාත්තා රණවිරුවන් කළ ඒ කැප කිරීම මත ලබපු නිදහස අනුර කුමාර ජනාධිපතිතුමා යාපනයේ උපරිමයෙන් භුක්ති විඳීම පිළිබඳව මම හදවතින්ම සතුටු වෙනවා. ඔබත් සතුටු වෙන්න. මොකද අපේ දේශපාලනය තුළ වෛරය නැහැ. අපිට අවශ්‍යයි මේ රටට ගැලපෙන දේශපාලන සංස්කෘතියක්. අපිට ඕන මේ රට දියුණු වෙනවා දකින්න ආපස්සට ඇදගෙන යන දේශපාලන සංස්කෘතියක් නෙමෙයි. වෛරය කරන්න එපා කියමින් වෛරය පතුරුවන්න එපා කියමින් ඔබ මේ රටේ ජාතින් අතර අසමගිය ඇති කරන්න උත්සාහ කරනවා. අද එක පැත්තකින් මහා ව්‍යසනයකට අපි මුහුණ දීලා තියනවා. ඒ මහා ව්‍යසනය ඇතුළේ ජීවිත විශාල ප්‍රමාණයක් නැති වුණා. ආණ්ඩුවේ මැදිහත් වීමක් තිබුණද මදිද මේ කාරණා පිළිබඳව හොයන්න ඕන. ජීවිත ගණනාවක් බේරගන්න තිබ්බා කියන විශ්වාසය ව්‍යසනයට ලක්වෙච්ච ජනතාව තුළ තියෙනවා.

අපි මේ මහ පොළවේ ජනතාවගෙන් ගොඩනැගිච්ච දේශපාලන බලවේගයක්. අපි හැමදාමත් මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. අපි ඉදිරියටත් අනාගතේදීත් මේ මාතෘ භූමියේ වවන්න පුලු‍වන් හැම භෝගයක්ම වවනවා වගේම ගොවියාගේ දරුවට තාක්ෂණයත් එක්ක නූතන පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහි කරන්න අපි මැදිහත් වෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕන.ඒ වගකීම අපි බාරගන්නවා. අපි නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක්. අපි තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච කණ්ඩායමක්. ඒ වගේම අවංක චේතනාවකින් මේ රටේ තරුණ පරම්පරාව ගොඩනගන්න ඕනේ. ලෝකේ රැකියා වෙළෙඳ පොලට තරුණයන් සූදානම් කරන්න ඕනේ. වෙළෙඳ පොලට වගේම නූතන රැකියා වෙළඳපොලට ගැලපෙන වගේම අපේ සංස්කෘතියට ආගම දහමට ගැළපෙන දේශපාලන පරිවර්තනයක් කරන්න ඕනේ කියලා දැඩි අධිෂ්ඨානයකින් ඉන්න දේශපාලන කණ්ඩායමක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔබ තමුන්නාසේලාට මම ස්තුතිවන්ත වෙනවා. අපි දීර්ඝ ගමනක් ආවා. අභියෝග ගණනාවක් අපි පහු කළා. පහුගිය කාලේ අපි පසුබැස්සා. ඔව් අපේ අඩුපාඩුකම් තියෙනවා. අපි ඒවා හදාගත්තා, අපි ඒවා හදාගනිමින් ඉන්නවා. මා විශ්වාස කරනවා උද්ධච්චකමෙන් රටේ ජනතාවට පක්ෂයට පාක්ෂිකයන්ට ඇහුම්කන් නොදී පාලනය කරනවා වෙනුවට අවංකව පාක්ෂිකයා එක්ක ගැටිලා පාක්ෂිකයා එක්ක කතා කරලා මාතෘ භූමියේ මහපොළොවේ බලාපොරොත්තු පිළිබඳව අවබෝධයක් ඇතුව අපි ඉස්සරහට යන්න ඕනේ. අන්න එවැනි දේශපාලන පරිවර්තනයකට අපේ පක්ෂය අද සූදානම්. මම ආරධනා කරනවා අපෙන් ඈත් වෙච්ච තව බොහෝ පිරිසක් ඉන්නවා අද විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ එකතුවීම තුළ අපිත් එක්ක රැඳිච්ච අපි එක්ක පෙනී හිටපු ජනතාව ශක්තිමත්ව ගොඩනැගෙනවා. ඒ වගේම මම ආරාධනා කරනවා අපෙන් ඈත් වෙලා වෙන් වෙලා හිත් අමනාප වෙලා හිත් බිඳිච්ච පිරිස් ඉන්නව නම් අපි ඒ අයට කතා කරනවා අපි එක්ක කතා කරලා අපි කවුරුද කියලා පැහැදිලි කරමු, බොරුවට වෛරයට ආණ්ඩුවේ ඊර්ෂ්‍යාවට ආණ්ඩුව මේ රටට ගැලපෙන්නේ නැති දේශපාලන ප්‍රතිපත්තිවලට අද ආණ්ඩුව ඇතුළෙන්ම විරුද්ධව ගොඩනැගෙන බලවේගය ඇතුළෙම අපේ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒ අයටත් ආරාධනා කරනවා අපි සාකච්ඡා කරමු. යම් වෙනස්කමක් තියනවනම් ප්‍රතිපත්ති මාලාවක් ඇතුළේ අපි එකඟ වෙමු. අපෙන් ඈත්වෙච්ච දුරස්වෙච්ච සියලු‍ දෙනාටම අපි ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක අත්වැල් බැඳගමු එන්න මීළඟට ගැලපෙන දේශපාලන සංස්කෘතියක් මේ මාතෘ භූමිය තුළ පැළ කරන්න එක්කාසුවෙන්න කියලා අපි ආරාධනා කරනවා.

අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මිත්‍රවරුනි අපි අභියෝගාත්මක කාලයක් පහු කරගෙන ආවේ. ඒ වගේම තමයි අභියෝග ගණනාවක් ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා. මේ හැම අභියෝගයකටම ශක්තිමත්ම අපි මුහුණ දෙමු. ආණ්ඩුවේ මර්ධනයට නම් අපිව නවත්තන්න බෑ. හිර ගෙවල් පෙන්නලා අපිව නවත්තන්න බෑ. කොඩි කණුවක් ගලවලත් අපිව නවත්වන්න බෑ. ඒ නිසා ඔබේ මර්ධනය ඔබ තියාගන්න ඒ 88/89 සෙල්ලම් දැන් දාන්න ලෑස්ති වෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ හිටියා. දැන් ඉන්නව නාමල් රාජපක්ෂ. ආයි 88/89 සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා. ඒවා ඒ කාලේ. මේ අද අලු‍ත් පරම්පරාවක්. වෙනස් දේශපාලන සංස්කෘතියක්. ඒ හින්දා ඔය 88/89 සෙල්ලම් මතක් කරලා අපේ තාත්තා කියලා එව්ව ඒ වචනේ කියන්න එපා කියලා ඒ හින්දා මම කියන්නේ නෑ. ඒ හින්ද ඒවා තියාගන්න ලෑස්ති වෙන්න එපා. හැබැයි ඔබ හොරු අල්ලන්න. ඒ හොරු අල්ලන ගමන් කන්ටේනර් 323 පන්නපු එකාවත් අල්ලගන්න. අර කුඩු කන්ටේනර් වරායෙන් පන්නපු එකාවත් අල්ලන්න. ගල් අඟු‍රු ගෙනාපු එකාවත් අල්ලන්න. කැබ් 1700 ගෙනා එකාවත් අල්ලන්න. පිටරටින් හාල් ගේන කෙනාවත් අල්ලන්න.

ජනාධිපතිතුමා චොපර් එකේ යන්න ඕන. මම ඒකට බනින්නෙ නෑ. එයා යන්නෙ නෑ කියලා ආපු එකට අපි මොනවා කරන්නද. දැන් එතුමා පාරේ ගියා නම් ශ්‍රී මහා බෝධීන් වහන්සේටත් වැඳගෙන තමයි යන්න වෙන්නේ. චොපර් එකේ ගිය නිසා ශේප් එකේ ගියා. ආ උගන්ඩාවේ සල්ලි ඒකත් ගේන්න. ඒක ගේන්නම ඕනේ. අර ඩුබායි මැරියට් හෝටලේ. ඒක ගේන්නත් ඕනේ. ඒ හින්දා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ බොරුව නවත්තන්න. රැවටිල්ල නවත්වන්න. මර්ධනය නවත්වන්න. ඔබ මේ රටේ ජනතාවට පොරොන්දුවක් වුණා ඒ පොරොන්දු ඉටු කරන්න.

ඔබ මැදිහත් වෙන්න. අපේ හාමුදුරුවනේ ඒ වගේම අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ මාතෘ භූමිය තුළ දිනාගත් නිදහස මේ මාතෘ භූමිය තුළ රණවිරුවන් දහස් ගණනක් ජීවිත කැප කරලා දිනාගත් නිදහස මේ රටේ දමිළ සිංහල මුස්ලිම් බර්ගර් මැලේ සියලු‍ ජාතීන් නිදහසේ ජීවත් වුණ පරිසරය ඒ වගේම තමයි හෙළ සංස්කෘතියත් එක්ක

ගොඩනැගිච්ච සමාජය ඇතුලේ බිහිවන නූතන පරම්පරාවේ දරුවා ගොඩනගන්න වර්තමානයේ මේ ආණ්ඩුව අරගෙන යන ඒ මර්ධනය සංස්කෘතිය විනාශය ආගමික විනාශය දේශපාලනික විනාශය ආර්ථික විනාශය එරෙහිව අපේ හාමුදුරුවනේ ඔබ නායකත්වය ගන්න. ඔබ වහන්සේලාගේ ආරක්ෂාවට අපි ඉන්නවා කියන එකත් ඔබ වහන්සේලාට මතක් කරමින් ඔබ සියලු‍ දෙනාට සුභ අනාගතයක් පතමින් ගරු ජනාධිපතිතුමනි මම ආවා හැබැයි මම ආයෙත් ඔබතුමාගේ ගමට එනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස නායක නායිකාවන්ගේ පත්වීම් ප්‍රදානයද නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු හිටපු අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු සහ කොට්ඨාස සංවිධායකවරුද සහභාගී වූහ.

 

 

Search