රජය සිදු කළ එකම ක්‍රමයේ වෙනස අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොලොන්න ජනහමුවකදී කියයි

රජය සිදු කළ එකම ක්‍රමයේ වෙනස අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොලොන්න ජනහමුවකදී කියයි


වත්මන් රජය සිදු කළ එකම ක්‍රමයේ වෙනස වන්නේ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ ජනතාව සමඟ කෑල්ල කොට්ටාසයේ පැවැත්වූ ජනහමුව අමතමිනි.

රටේ වටිනාම සම්පත වන දරු සම්පත ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම, හොඳ වර්තමානයක් අනාගතයක් උදාකරලීම ආදී සුන්දර බලාපොරොත්තු සෑම දෙමාපියෙකුටම තියෙනවා. මේ සුන්දර බලාපොරොත්තුව තහවුරු කරන්නට සැවොම කැපවෙනවා. මේ සුන්දර බලාපොරොත්තුව සුවිශේෂී ඉලක්ක සම්පූර්ණ කරගන්නට සෑම දෙමාපියෙකුම රජයෙන් අපේක්ෂා කළත් මේ මොහොත වන විට දරුවන්ට ලබා දිය හැකි ලොකුම සම්පත වන කාටවත් සොරාගත නොහැකි අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී පැහැර ගෙන උදුරා ගෙන තිබෙනවා.

ළමා මනස විකෘති කරන අසභ්‍යකරණයකට අධ්‍යාපන අයිතිය ලක්කර ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනස්කම් තුළින් අපේක්ෂා කරන්නේ ෆින්ලන්තයට, ජපානයට, මැලේසියාවට, යුරෝපා රටවලට වඩා වැඩි උසස් අධ්‍යාපනයක් අප රටේ දරුවන් ලබාදීම වුවත් අද ක්‍රියාත්මක වන්නේ මනස විකෘති වන අධ්‍යාපනයක්. මෙය දියුණුවට නොව අසභ්‍යකරණයට ලක් කරන ශීලාචාර භාවය වෙනුවට අශීලාචාරභාවයත් ශිෂ්ටසම්පන්න භාවය වෙනුවට අශිෂ්ටත්වයත් ප්‍රවර්ධනය කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්. ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියූ වත්මන් රජය අසභ්‍යකරණය විකෘතිකරණය යන ක්‍රමයේ වෙනස පමණක් සිදු කරලා.



තමාද විශ්වාස කරන ආකාරය මේ අධ්‍යාපනය තුළින් දරුවන්ට සාධාරණයක් ඉටු නොවන නිසා STEAM අධ්‍යාපනය කෘත්‍රීම බුද්ධිය රොබෝ තාක්ෂණය තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්‍රවලට ප්‍රමුඛස්ථානය ලබාදෙන අධ්‍යාපනයක් ඇති කළ යුතුයි. එසේම ඉතිහාස විෂයද අනිවාර්ය විෂයක් කර සමබර ලෙස කටයුතු කළ යුතු වුවත් රජය එවැනි දෙයක් සිදු නොකරන බවත් විවිධ මොඩියුල හරහා සුහුරු උපකරණ භාවිතය නිර්දේශ කළත් පාසල් සිසුන්ගෙන් සුහුරු උපකරණ ඇත්තේ අතලොස්සක්ට පමණයි. අප රටේ සෑම සිසු දරුවකුටම නියමිත ආරක්ෂිත මෙවලම් සහිත සුහුරු උපකරණ සහ ඒ සඳහා ප්‍රවේශය තිබිය යුතුයි. ඒවා නිසි ආරක්ෂිත ක්‍රමවේද සහිතව අසභ්‍යකරණයකට ලක් නොවී සිදුවිය යුතුයි.

උද්දච්චකම තුළින් රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකි බවත් සාකච්ඡාවෙන් අදහස් හුවමාරුවෙන් එය සිදුවිය යුතු බවත් එවැනි සාකච්ඡාවක් නොවූ නිසා අසභ්‍යකරණයක් රටේ අධ්‍යාපයට ඇතුළත් වූ බවත් මෙය නිවැරදි විය යුතු බවත් මූලික හා මානව අයිතිවාසිකමක් වන අධ්‍යාපනය අප රැකගත යුතුයි. ජාති ආගම් පන්ති පාට පක්ෂ භේද නොසලකා දරුවන් සිටියත් නැතත් වැඩිහිටියන් දෙමාපියන් පුරවැසියන් ලෙස නිදහස් අධ්‍යාපනය බේරාගෙන සභ්‍යත්වය ශීලාචාරත්වය හරහා නිවැරදි පරිවර්තනයකට ලක් කිරීමේ ගමනට එක් විය යුතුයි

Search