ඇමෙරිකාව බදු ගහද්දි එංගලන්තයෙන් බදු සහන

ඇමෙරිකාව බදු ගහද්දි එංගලන්තයෙන් බදු සහන

එංගලන්ත රජය සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන සිය වෙළෙඳ යෝජනා ක්‍රමයේ පෙරේදා (10 දා) සිදු කර ඇති නව වෙනස්කිරීම් හරහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් සඳහා එංගලන්තයට තීරු බදු රහිතව වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව, නයිජීරියාව හා පිලිපීනය යන රටවල් තුන සඳහා අදාළ වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ ඇඟලුම් ,ආහාර, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු වැඩි භාණ්ඩ වර්ග ප්‍රමාණයක් තීරුබදු රහිතව එංගලන්තයට අපනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇත. එංගලන්ත රජය විසින් 2023 වසරේ ජුනි 19 වැනිදා ආරම්භ කරන ලද සංවර්ධනය වන රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමය යටතේ මෙතෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල් 65ක් සඳහා එම රටවල වෙළඳාම හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ත්‍යාගශීලි හා සරල වෙළෙඳ කොන්දේසි මත එංගලන්තයට භාණ්ඩ අපනයනය කිරීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ.

පෙරේදා දිනයේ අදාළ වෙළෙඳ යෝජනා ක්‍රමය සඳහා සිදු කළ වැඩිදියුණු කිරීම් යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනකට අලුතින් වැඩි භාණ්ඩ වර්ග ප්‍රමාණයක් මෙසේ තීරුබදු රහිතව එංගලන්ත වෙළඳපළට අපනයනය කිරීමට මාර්ගය විවෘත කර දී ඇති අතර බංග්ලාදේශය හා කාම්බෝජය වැනි රටවලට එම වෙළඳ ක්‍රමය යටතේ තීරුබදු රහිතව ඇඟලුම් නිෂ්පාදනයන් හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපනයනය කිරීමට ලබා දී තිබෙන සහනය තවදුරටත් ක්‍රියාත්මක වන බව එංගලන්තයේ ව්‍යාපාරික හා වෙළඳ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ. මෙම තීරුබදු රහිතව එංගලන්ත වෙළෙඳපළට භාණ්ඩ අපනයනය කිරීම සඳහා අලුතින් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකට ලබා දී ඇති සහනය හේතුවෙන් එම රටවලට සිය වෙළෙඳ කටයුතු මෙන්ම රැකියා වෙළෙඳපළ හා ආර්ථිකය වර්ධනය කරගැනීමට මාර්ගය පෑදෙන බවත් එංගලන්ත ව්‍යාපාරික ස්ථානවලට හා පාරිභෝගිකයන්ට පෙරට වඩා තරගකාරී මිල ගණන්වලට ආනයනික භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. එමෙන්ම එම නව වෙළෙඳ නීති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගය හරහා ලොව දුගී රටවලට සෙත සැලසෙනවා මෙන්ම එංගලන්ත පාරිභෝගිකයන්ට අඩු මිලකට ආනයනික භාණ්ඩ මිලදී ගත හැකි වන බව එංගලන්ත බලධාරීන් පවසා තිබේ.

මේ අතර මෙම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දී ඇති තීරුබදු සහනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එංගලන්තයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමැති ජෙනි චැප්මන් පවසා ඇත්තේ මෙම තීරුබදු සහනය හරහා සංවර්ධනය වෙමින් පවතින රටවලට එංගලන්තය සමග වඩාත් සමීපව සිය වෙළඳ කටයුතු පවත්වාගෙන යෑමටත් දක්ෂිණ ධ්‍රැවයේ රටවලට එංගලන්තය සමග වෙනස් ආකාරයේ සබඳතාවයක් පවත්වාගැනීමට අවස්ථාවක් ලැබෙන බවයි. එංගලන්තයේ වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳ ඇමැති ඩග්ලස් ඇලෙක්සැන්ඩර් පවසා ඇත්තේ පසුගිය දශක කිහිපයේදී ලොව පුරා මිලියන සිය ගණනක ජනකායක් දුප්පත්කමින් මුදා ගැනීමට වෙළෙඳාම දායක වූ බවයි.

Search