ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ටම බලපෑමක් එල්ල කළ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (30දා) වනවිට මරණ 212ක් ද 218ක් අතුරුදන් වී ඇති බවට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබුණි.
අපෙන් සමුගත් මෙවන් ආදරණීය ජනතාවට ‘දිවයින’ සාතිශය සංවේගය
නායයෑම්, ගංවතුර, තද සුළං ඇතුළු ආපදාවලින් පවුල් 266,114කට අයත් පුද්ගලයන් 968,304ක් පීඩාවට පත්ව ඇති බවත් පවුල් 41,005ක පුද්ගලයන් 147,931ක් ආරක්ෂිත ස්ථාන 1094ක ඔවුන් රැඳී සිටින බවත් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන, සනීපාරක්ෂක ඇතුළු පහසුකම් සලසන බවත් එම මධ්‍යස්ථානය පවසයි.
මියගිය අය අතර බදුල්ලේ 71ක්, මහනුවර 52ක්, මොනරාගල 20ක්, කෑගල්ලේ 09ක්, කුරුණෑගල 15ක්, අම්පාර 08ක්, නුවරඑළිය 06ක් ලෙස වැඩි වශයෙන් වාර්තා වී ඇත. පුත්තලම, මඩකළපුව, මුලතිව්, කිලිනොච්චි, පොළොන්නරුව, මාතර, කළුතර, මන්නාරම, වව්නියාව යන දිස්ත්‍රික්ක 09යෙන් කිසිදු ආපදා මරණයක් වාර්තා වී නැත. අතුරුදන්වූවන් අතර මහනුවර 105ක්, බදුල්ල 53ක්, මාතලේ 10ක්, කෑගල්ල 24ක්, කුරුණෑගල 27ක්, නුවරඑළිය 04ක් වෙති.
මුතූර්
ගම්පහ 211,719ක්, පුත්තලම 135,922ක්, කොළඹ 174,255ක්, මඩකළපුව 47,856ක්, ත්‍රිකුණාමලය 54,107ක්, රත්නපුර 34,414ක්, බදුල්ල 32,760ක්, කුරුණෑගල 30,021ක්, මන්නාරම 79,946ක්, මහනුවර 25,290ක් වශයෙන් පීඩාවට ලක්ව ඇත. මාතර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 20කට අයත් පුද්ගලයන් 66ක් පීඩාවට පත්ව සිටියත් මියයෑමක්, අතුරුදන්වීමක් හෝ ආරක්ෂිත මධ්‍යස්ථානයක රැඳවීමක් සිදුව නැත. අනෙකුත් දිස්ත්‍රික් 24 තුළ මියයෑමක්, අතුරුදන්වීමක් හෝ ආරක්ෂිත ස්ථානයක රැඳවීමක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක හඳුන්පතිරාජ මහතා නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කෙසේවෙතත් විපතට පත්වූවන් පිළිබඳ මේ වනවිටත් වාර්තාවීම් සිදුවෙමින් පවතින බවද ඔහු කීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශ 73න් 53ක් වාන් දමමින්ද, මධ්‍ය පරිමාණ ජලාශ 159න් 58ක් වාන් දමමින්ද පැවතිණි. කෙසේවෙතත් වර්ෂාපතනයේ අඩුවීමත් සමග වාන් දොරටු විවෘත කිරීම ක්‍රමයෙන් අඩු කරමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන කෙරෙහි ජනතාව අවධානය යොමුකර ඊට අවනතව කටයුතු කරන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ආපදා හා ජල කළමනාකරණ) එච්. ජී. පී. හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර තත්පරයට ගණ අඩි ලක්ෂයකට වඩා ජලය නිකුත් කළ ද ඊයේ (30දා) වනවිට එය ඝන අඩි 26,000 දක්වාත් රාජාංගණය ජලාශයෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 65,000ක් නිකුත් කරනු ලැබුවත් එය ඝන අඩි 28,000 දක්වා ද අඩු කර ඇති බව ඒ මහතා කීය.
ඊයේ මාවිල්ආරු අමුණ කැඩී
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මාලබේ, අතුරුගිරිය, මාලබේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගවල පහත්බිම්වල ජනතාවට ඉවත්වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා විසින් දැනුම් දී ඇත. එම ජනතාවට මාලබේ ආදර්ශ පිරිමි විiාලයට හා පිට්ටුගල යශෝදරා මහා විiාලයට යන ලෙස ද ඒ මහතා දැනුම් දී තිබුණි.
කළු ගඟ ආශ්‍රිතව ද ජල ගැලීම් තත්ත්වයක් ඇතිවිය හැකි නිසා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ඇතිවිය හැකි නිසා දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ ඒ හරහා ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දී තිබේ.
ත්‍රිකුණාමලය මාවිල්ආරු සොරොව්ව අස්ථාවර මට්ටමකට පැමිණ ජලාශය පිටාර ගැලීම නිසා කොටසක් බිඳී ගොස් ඇත. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 04ක් යොදවා ඉන් දෙකක් මගින් පුද්ගලයන් 121ක් මුදාගෙන සේරුවිල මහවැලි ක්‍රීඩාංගණය වෙත රැගෙනවිත් තිබුණි.
අධික ජල ගැලීම් නිසා නීලපොල බැම්මේ කැඩීගිය කොටසෙන් ජලය පිටතට ගලායෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් එම තත්ත්වය පාලනය කිරීමට හැකියාව පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.
මාවිල්ආරු සොරොව්ව සහ නීලපොල බැම්ම ආශ්‍රිතව ජීවත් වන ජනතාවට ඉවත්වන ලෙස පෙරේදා (29දා) මධ්‍යම රාත්‍රියේ සිටම දැනුම් දුන් බවත් ඇතැමුන් අවදානම පහවගොස් ඇතැයි සිතා නැවත ගම්බිම් වෙත පැමිණ ඇතත් අනතුර සම්පූර්ණයෙන් පහව යනතෙක් ගම්බිම්වලට නොයන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.
කැඩීගිය බැම්ම ආශ්‍රිත කොටස පිළිසකර කිරීම ආරක්ෂක අංශවල සහායෙන් ආරම්භ කර තිබෙන බවත් එම නිසා කිසිවකු අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගංගා ද්‍රෝණි පිටාර ගැලීම, වැව් අමුණු ජලාශ සියල්ලක්ම පාහේ වාන් දමමින් තියෙන නිසා එම ස්ථාන නැරඹීමට හෝ වෙනත් අවශ්‍යතා සඳහා නොයන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. වැසි තත්ත්වය පහත ගියත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ අවදානම රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල කඳු ආශ්‍රිත ප්‍රදේශ තෙත් වී ඇති නිසා ඕනෑම අවස්ථාවක නායයෑමක් ඇතිවිය හැකි බැවින් එම අංශ දැනුවත් කරන තෙක් අදාළ ප්‍රදේශවලට නොයන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.
මහනුවර, පේරාදෙණිය හා අවට ප්‍රදේශ මහවැලි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමග ගඟ දෙපස ගොඩනැඟිලි රැසක නායයෑමේ අවදානමක් ඇති බවට ද එම නිසා එම නිවාසවලින් ජනතාවට ඉවත්වන ලෙස ද දැනුවත් කර ඇත.
නාවික හමුදාව විසින් විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා නාවික කණ්ඩායම් 141ක් ස්ථානගත කර ඉන් පුද්ගලයන් 9500කට අධික පිරිසක් බේරාගෙන ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමාන්ඩර් බුද්ධික සම්පත් මහතා කීය.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා කියා සිටියේ විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා හෙලිකොප්ටර් 09ක්, ඉන්දීය හෙලිකොප්ටර් 02ක්, පාකිස්තාන් හෙලිකොප්ටරයක්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා Y 12 ගුවන් යානයක්, සුළි කුණාටුවේ ගමන් මාර්ගය නිශ්චය කර ගැනීම සඳහා බීච් ක්‍රාෆ්ට් යානා 02ක් යොදවා ඇති බවයි.
වහලවල් මත සිටි අය ඇතුළු ගුවනින් ගොස් බේරාගැනීම් 330ක් ද, භූමිය තුළ මුදා ගැනීම් 1,758ක් ද ඊයේ (30දා) සවස් වනවිට සිදුකර ඇති බවද ඒ මහතා කීය.
යුද හමුදා නිලධාරීන් 24,000ක පමණ පිරිසක් යොදවා 8,000ක පමණ පිරිසක් මුදාගැනීමට කටයුතු කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් වරුණ ගමගේ මහතා පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා කියාසිටියේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 206කටත් පාලම් 14කටත් හානි සිදුවී ඇති බවයි. කැඩීගිය පාලම් වෙනුවට තාවකාලික පාලම් ඉදිකර ගමනාගමන කටයුතුවලට පහසුකම් සැලසීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවය.
විශේෂයෙන් හානිවීම් දැකබලා ගැනීමට මහජනතාව පැමිණියහොත් එය මාර්ග සංවර්ධනය කිරීමට බාධාවක් වන බවත් එවැනි දේවල් සිදුනොකරන ලෙසත් ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
‘දිට්වා’ සුළි කුණාටුව ඊයේ (30දා) වනවිට මුහුද මැද පැවති අතර එය උතුරට බරව ඊසාන දෙසින් ඉතා සෙමින් තමිල්නාඩු වෙරළ ආසන්නයෙන් ගොඩබිම දෙසට ගමන් කරමින් පැවැති බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ කසුන් පැස්කුවල් මහතා පැවසීය. කෙසේ වෙතත් දිවයිනට බලපෑ අධික වැසි තත්ත්වය අඩුවන බවද ඔහු කීය.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 – 60 පමණ වන අතර විටින්විට එය පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 30 – 40 වන අතර කොළඹ සිට මීගමුව හරහා පුත්තලම දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින්විට පැයට කිලෝමීටර් 50 පමණ දක්වා වැඩිවිය හැක. මෙම මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක.
ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී ඇත. සෙසු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම් නිවේදන ඉවත් කරගෙන ඇත. මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරනු ලැබුවත් ධීවර දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර මුහුදු යෑම හෝ නොයෑම තීරණය කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
ඇතැම් ගම් සහමුලින්ම පස් යටට වැළලී තිබේ