ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි කර අංක තහඩු වංචනික ලෙස ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයකු ඇතුළු තිදෙනකු ජූලි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (01) නියෝග කළාය.
නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව බ්‍රහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම (සහකාර අධ්යක්ෂ, තොරතුරු තාක්ෂණ – විශ්‍රාමික) සහ අත්තරගම ගෙදර ධම්මික නිරෝශන් (ලිපිකරු) යන තිදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
සිද්ධියට අදාළ සැකකරුවන් ඊයේ අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අනතුරුව ඊයේ පස්වරුවේ සිද්ධියට අදාළ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මෙලෙස නියෝග කෙරිණි.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්යක්ෂ නීති අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළාය.
“ස්වාමීනි, ලංකාවේ වාහනයක් ලියාපදිංචි කිරීමේදී නිසි ක්‍රියා පිළිවෙතක් තිබෙනවා. ස්වාමීනි ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙනවා වාහනයක් ලියාපදිංචි කිරීමේදී. ස්වාමීනි මෙම ටොයෝටා වර්ගයේ වාහනය ලියාපදිංචි කිරීමේදී බදු ගොනුව ප්‍රතික්ෂේප කරනවා මුල් ලියාපදිංචියක් සිදු වෙලා නැති නිසා. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු 2018 වර්ෂයේදී ආරම්භ කරනවා. එතකොටත් මේ වාහනය තියෙන්නේ ජපානයේ. ජපානයේ තියෙන වාහනයකට 2002 වර්ෂයේදී මුල් ලියාපදිංචියක් සිදුවෙන්න බැහැ කියලා දැන් පැහැදිලි වෙනවා. මේ වාහනය පමණක් නෙවෙයි, වාහන 51ක ලියාපදිංචිය ලබාදීමට බදු ගොනුව ප්‍රතික්ෂේප කරලා තිබියදීත් තමා මෙම සැකකරුවන් මෙලෙස ක්‍රියා කර තිබෙන්නේ.”
“ස්වාමීනි මුල් ලියාපදිංචියක් සිදු වෙලා නැති නිසා මුල් පිටපත් අස්ථානගත වෙලා කියලා සඳහන් කරනවා. මොවුන් අනීතික ලෙස කටයුතු කරලා තියෙනවා. ස්වාමීනි පළමු වැනි සැකකරු දත්ත පද්ධතිය සම්බන්ධයෙන් වගකියන්න ඕනෑ. සොෆ්ට්වෙයා බේස් යටතේ විශාල කාර්යභාරයක් සිදු කරනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයන්ට තමන්ට ඇතුළුව තම කාර්යභාරය කිරීමට අවශ්‍ය මුරපදයක් දීලා තිබෙනවා. පළමුවැනි සැකකරුට ඩේටා බේස් එක යටතේ දී තිබෙන මුරපදයට වෙනත් අයට ඇතුළු වෙන්න බැහැ. සැකකරු වෙනත් අය ළඟත් මුරපද තිබෙනවා යැයි පැවසීම චෝදනාවෙන් බේරීමට කරන උපක්‍රමයක්.”
“සිද්ධියට අදාළ දෙවැනි සැකකරු 2002 වර්ෂයේ ලියාපදිංචි කරන ලද වාහනයක් 2019 පැවරුම් මඟින් කවුලු පත්‍ර ලබා ගැනීමට කටයුතු කරනවා. එහිදී මුරපදයක් සහ පරිශීලක අංකයක් කවුලු පත් තබා ගැනීමේදී අත්‍යවශ්‍යයි. තමන්ගේ අතට ලැබුණොත් පමණයි දත්ත පද්ධතියට ඇතුළත් වෙන්න පුළුවන්. මෙලෙස දත්ත පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන් එක් අයකුට පමණයි. යම්කිසි පරිපාලන කටයුත්තකට පමණයි මෙම දත්ත පත්තියට ඇතුළත් වෙන්න පුළුවන්.” යනුවෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අනුෂා මහත්මිය සඳහන් කළාය.
“ස්වාමීනි මේ වගේම සිද්ධියකට අදාළ නඩුවක් මහාධිකරණයේ විභාග වෙනවා. එය කරලා තිබෙන්නේ එක් පුද්ගලයකු නෙවෙයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හත්දෙනකු එකතු වෙලයි එම දූෂණ ක්‍රියාවලියත් සිදු කරලා තිබෙන්නේ. ස්වාමීනි මෙම සිද්ධියත් එක් අයගේ ක්‍රියාවක් නෙවෙයි. ජාලයක් එකතු වෙලා කරන ලද ක්‍රියාවලියක්.” යැයි ද අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය සඳහන් කරනු ලැබුවේ මුල් ලියාපදිංචිය නොමැති වාහනවලට අංක තහඩු දීම ප්‍රතික්ෂේප කර තිබියදී මෙම සැකකරුවන් වංචනික ලෙස ක්‍රියා කර ඇති බවයි.
“ස්වාමීනි බදු ගොනුව ප්‍රතික්ෂේප කර තිබියදීත් වාහන පනස් එකකට (51) අංක තහඩු නිකුත් කිරීමට නියෝග ලබා දෙනවා. මෙලෙස ක්‍රියාකොට තිබෙන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා රජයට විශාල පාඩුවක් සිදු කිරීමටත ස්වාමීනි දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් මෙම වහන 51 සඳහා අංක තහඩු නිපදවීමට ව්‍යාජ පුද්ගලයාගේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. පළමු වැනි සැකකරු විසින් තුන් වැනි සැකකරුට අංක තහඩු නිකුත් කිරීමට නියෝග කර තිබෙනවා.”
“ස්වාමීනි මෙම වාහනය පමණක් නොවේ, මුල් ලියාපදිංචිකරුවන් නොමැති වාහන 177ක් ටොයෝටා, මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගි වහන ආනයනය කර තිබෙනවා. මෙම වාහනයෙන් පමණක් කෝටි තුනයි ලක්ෂ විසිදෙකක පාඩුවක් රජයට සිදු කර තිබෙනවා. ස්වාමීනි මෙම සිද්ධියට අදාළ වාහන පහළොවක් අධිකරණ අනුමැතිය ලබාගෙන මේ වන විට රේගුවට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි මෙම සිද්ධිය තවත් සැකකරුවන් සිටිනවා. මොවුන් මේ ක්‍රියාවලිය කරන්නේ ජාලයක් වශයෙන්. ස්වාමීනි එම නිසා යුක්තිය ඉටු කරන්න මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මම ඉල්ලනවා.” යනුවෙන් ඇය අධිකරණයෙන් ඉල්ලීය.
සැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ සහ අනුර චන්ද්‍රසිරි යන නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, සුදුසු ඇපයක් මත සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසය.
“මාගේ සේවාදායකයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිපාලනය වශයෙන් කටයුතු සිදු කළා. මොහු ඩේටා බේස් එකේ කොන්ට්‍රෝලර් පමණයි. 2020 මගේ සේවාදායකයා විශ්‍රාම යනවා. මෙම සිද්ධියට මාගේ සේවාදායකයාගේ සම්බන්ධයක් නැහැ. රාජ්‍ය සේවයේ විශ්‍රාමික තැනැත්තකු වන අතර මොහු කිසිදු අධිකරණ චෝදනාවකට සම්බන්ධ නෑ. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නඩුවලට සාක්ෂිකරුවකු වෙලා තියෙනවා. ස්වාමීනි මෙම සැකකරුවන් අභියාචනාධිකරණ නියෝගයක් අනුව තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එම නිසා සුදුසු ඇපයක් මත මෙම සැකකරුවා මුදාහරින්න.” යනුවෙන් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ සැකකරුවන් ජූලි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය