මෙදා රතනගේ කතාව කාටත් මතකයි. මේ සිද්ධි වුනේ ඊයෙ පෙරේදා නිසා.
දොස්තර සාෆි සිංහල බෞද්ධ මව්වරු 4,000 ක් වඳ කරපු කතාව. දොස්තරව අත් අඩංගුවට අරන් සාක්ෂි එකතු කරපු කතාව. ඊට පස්සෙ කරපු පර්යේෂණ අනුව සාෆි වැරදිකරුවකු නොවන බවට සීඅයිඩීය කල හෙළිදරව්ව. ඊළඟට රතන කියනවා ඕවා බොරු වාර්තා. අපි ඕවා පිළිගන්නේ නෑ. සත්‍යය සොයාගෙන අපි යනවා ඇමරිකාවට. ලොස් ඇන්ජලීස් නුවරට. ඔව් ඔව් ඇමරිකාව තමා. මටත් මුලින් ඇහෙද්දි ෆුල් අන්දුන් කුන්දුන්. එක්කො මේ රතන වෙන්න බෑ. නැතිනම් නාථ දේවාලෙට කියපු එක මට ඇමරිකාවට වගේ ඇහිලා කියලා තමයි හිතුනේ. පියෝ ටීවී වලට පියෝලි පින්සිද්ධ වෙන්න දෙතුන් පාරක් රිවර්ස් ගියර් දාලා බැලුවට පස්සෙ තමා මගෙ ඇහේ කනේ දෝෂ නැහැ කියලා දැනගත්තේ.
මතකද එදා රතනව. සෝම හාමුදුරුවො රුසියාවට ගිය ගමනකදි හදිසියෙන් මියයනවා. සෝම හිමිට එතකොට වයස අවුරුදු හැටකට වැඩියි. අධි කොලස්ටරෝල් වලට බෙහෙත් බොන, අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින, උග්‍ර දියවැඩියා රෝගයෙන් පෙලෙන්නෙක්. එයාගෙ සහෝදරියෙක් අඬ අඬා පත්තරේට කියනවා කොහෙන්වත් දානෙ ගන්නෙ නෑ අගුනවෙන හින්දා, මමමයි තෝරලා බේරලා උයලා දෙන්නෙ කියලා. ගමන ගිහින් තිබුනේ වෛද්‍ය උපදෙස් නොසලකා හැර බවත් කියනවා. ඊටත් රුසියාවේ පට්ට ශීත කාලෙ. අනෙක පිරිමියකු වීමේ ජානමය අවාසිය.ඒ ඔක්කොම තිබිලත් ස්වාභාවික මරණයක්ය කියන මරණ පරීක්ෂණ වාර්තාව පිළිගන්න රතනලා කැමති වුනේම නැහැ. සෝම හිමියන් මරා දැම්මා කියා රතනලා මෙහෙ යකා නැටුවා. ඒ පාර ආණ්ඩුවෙන් තව පරීක්ෂණයක් ඉල්ලුවා. ඒකෙත් අර පිළිතුරමයි. ඊට පස්සෙ රතනලා කියනවා අපි විදේශ පරීක්ෂණ පිළිගන්නේ නැහැ. අපේ කට්ටියක් දාලා මරණ පරීක්ෂණය කරවන්න ඕනෙ කියලා. ඒ පාර අපේ කට්ටියක් යවනවා. කවුරු ගාන හැදුවත් දෙකයි තුනයි එකතු වුනාම උත්තරේ පහ තමයි, එකසිය තිස් හතර නෙවෙයි. අපේ කට්ටියත් ගිහින් නිගමනය දෙනවා ස්වාභාවික මරණයක් කියලා. එතකොට රතනලා කෑ ගහනවා මෙහෙන් ගිය කට්ටිය ඩොලර් අරගෙන රට ජාතිය පාවා දුන්නා කියලා. අවසානයේදී ජයග්‍රාහී මන්ත්‍රී ධූර දහයකින් සටන කෙළවර වෙනවා.
එදා රතනටත් මෙදා රතනටත් ඇත්ත හොයන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තමන් කියන දේ හරිය කියන කෙනෙක් සොයාගන්න. එතෙරින් බැරිවුනොත් මෙතෙරින්. මෙතෙරින් බැරිවුනොත් එතෙරින්.
රතනගේ එදා මෙදා කතා හිතේ ප්‍රශ්න දෙකක් ඇති කරනවා.
පළමුවැන්න: රතන මේ ගහන පිනුම් රතනපාල කෙනෙකුට ගහන්න පුලුවන්ද? ආගමික ලෝගුවකට මෙතරම් අසීමාන්තික බලයක් ලැබීම සමාජයට කෙතරම් හිතකරද? ඇත්තෙන්ම කෙතරම් අහිතකරද?
දෙවැන්න: මේ කියන කියන පර්යේෂණ සඳහා බදු ගෙවන්නන්ගෙන් කොපමණ මුදල් වැයවුනේද? මතක තියා ගන්න බදු ගෙවන්නා කියන්නෙ ටයි කෝට් ඇඳන් ඉන්න, ලොකු වාහනේකින් බහින, තඩි බඩක් තියන මිනිහා විතරක් නෙවෙයි. මේ දැන් විනාඩි දෙකකට කලින් මගේ ගේ ඉස්සරහට ඇවිල්ලා කුණු එකතුකරන් ගිය නගර සභා කම්කරුවාත් බදු ගෙවන්නෙක්. ඔහුත් පරිප්පු ඇටේට, හාල් මැස්සාට, සැමන් ටින් එකට, සිගරට් එකට, අරක්කු කාලට බදු ගෙවනවා.
එවැනි අරපරිස්සමින් වැය කලයුතු ධනයක් තමන් හිතන ප්‍රතිඵලය ලැබෙන තුරු වැය කිරීම කෙතරම් මානුශිකද? දෙවෙනි පරීක්ෂනයෙනුත් ලැබෙන්නෙ පළවෙනි පරීක්ෂණයේ ප්‍රතිඵලම නම්, දෙවැන්නේ වියදම දැරිය යුත්තේ බදු ගෙවන්නන්ද? පරීක්ෂණය ඉල්ලා සිටි අයද?
සුසන්ත ආරියරත්න