පිළිකා ඖෂධ කාණ්ඩ රැසක් හිඟවීම හා අදාළ ඖෂධ බාහිරින් මිලදී ගැනීමේදී දැරිය යුතු පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිසා පිළිකා රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය කාලයේ මුළුල්ලේම ( Neupogen S.C ) ඇතුළු පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය පැවති අතර, රජයේ රෝහල් පද්ධතිය තුළ මෙම පිළිකා ඖෂධ නොමැති වීම නිසා ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධ ඉතා අධික මුදලකට විකිණීමේ ජාවාරමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙලෙස බාහිර ඔසුහල්වල පවතින ලියාපදිංචි නොමැති පිළිකා ඖෂධවල ගුණාත්මකභාවයද ප්‍රශ්න සහගත බව සඳහන් කරන වෛද්‍යවරයා , ඇතැම් පිළිකා රෝගීන් සඳහා මසකට මෙම ඖෂධ බාහිරින් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැය වන බවත් මෙම මුදල එම රෝගීන්ට හෝ ඥාතීන්ට දරාගත නොහැකි බවද පෙන්වා දෙයි.
මේ වන විට වෙළඳපොලේ බොහෝ ඖෂධවල මිල ඉහළ යමින් පවතින අතර මෙමතත්වය පිළිකා ඖෂධ කෙරෙහි තදින්ම බලපා ඇති බව ඔහු පවසයි.
මෙවැනි පසුබිමක් තුළ දිගුකාලීන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා විශේෂ සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළ යුතුව ඇති බව වෛද්‍යය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.