ට‍්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්..

ට‍්‍රම්ප්ගෙන් අලුත් තීරු බද්දක්..


 බලහත්කාරයෙන් ලබාගන්නා ශ්‍රමය (Forced Labor) යොදාගනිමින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාව ඇතුළු ආර්ථිකයන් 60කට එරෙහිව, 10%ක් හෝ 12.5%ක අතිරේක ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය අඟහරුවාදා යෝජනා කළේය.

අදාළ රටවල පවතින මෙම තත්ත්වය අසාධාරණ මෙන්ම ඇමෙරිකානු වාණිජ කටයුතුවලට බාධාවක් වන බවට නිගමනය කරමින් ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් මෙම පියවර ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මඟින් අත්හිටුවන ලද 'හදිසි බදු'  ක්‍රමය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයේ නවතම පියවරක් ලෙස, 1974 වෙළෙඳ පනතේ 301 වගන්තිය යටතේ සිදුකළ අසාධාරණ වෙළෙඳ පිළිවෙත් පිළිබඳ විමර්ශනයකින් පසුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය පෙන්වා දෙන්නේ බලහත්කාර ශ්‍රමය මඟින් කෙරෙන නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට සහ එය ඵලදායී ලෙස බලාත්මක කිරීමට අපොහොසත් වූ රටවල් 54ක් හඳුනාගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් මෙම ලැයිස්තුවට ඇතුළත් වේ.

මෙම බදු පැනවීමේදී කාණ්ඩ දෙකක් යටතේ රටවල් වර්ග කර ඇත.

    • 10%ක අතිරේක බද්ද: බලහත්කාර ශ්‍රම ආනයන තහනමක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති, හෝ වෙළෙඳ ගිවිසුම් හරහා ඊට එකඟ වී ඇති කැනඩාව, යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ පකිස්ථානය වැනි රටවල් 6ක් සඳහා මෙය අදාළ වේ.

    • 12.5%ක අතිරේක බද්ද: එවැනි නිසි තහනමක් හෝ බලාත්මක කිරීමක් නොමැති ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවල් 54 සඳහා මෙම ඉහළ බදු අනුපාතිකය පැනවීමට යෝජනා කර ඇත.

"අපගේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවන් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වීම කිසිසේත් පිළිගත නොහැකියි. මේ හේතුවෙන් ඇමෙරිකානු කම්කරුවන්ට ගෝලීය වශයෙන් අසමාන වෙළෙඳපොළ තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා." - ජේමීසන් ග්‍රියර්, ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත

ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය විසින් විශේෂ රෙදිපිළි යාන්ත්‍රණයක්ද  යෝජනා කර ඇති අතර, එමඟින් යම් ඇඟලුම් සහ රෙදිපිළි ප්‍රමාණයක් අඩු කළ බදු අනුපාත යටතේ ඇමෙරිකාවට ඇතුළු කිරීමට අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකාව වැනි ඇඟලුම් අපනයනය මත ප්‍රධාන වශයෙන් යැපෙන රටවලට මෙය තීරණාත්මක විය හැකි වුවත්, ඊට අදාළ නිශ්චිත බදු ප්‍රතිශතයන් හෝ පරිමාවන් මෙතෙක් හෙළි කර නොමැත.

කෙසේ වෙතත්, බලශක්ති නිෂ්පාදන, දුර්ලභ පස් මූලද්‍රව්‍ය , ඇතැම් ලෝහ වර්ග, ගව මස්, කෝපි, තෝරාගත් එළවළු සහ පලතුරු, ඖෂධ, කාබනික රසායනික ද්‍රව්‍ය සහ ගුවන් යානා කොටස් ඇතුළු භාණ්ඩ ගණනාවක් මෙම බදු පැනවීම්වලින් නිදහස් කිරීමට USTR පියවර ගෙන ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 'ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත' යටතේ පනවන ලද බදු ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කළ දිනය වූ පෙබරවාරි 20 වැනිදා, ට්‍රම්ප් පරිපාලනය විසින් මාස පහක තාවකාලික බද්දක් පැනවූ අතර එහි වලංගු කාලය එළඹෙන ජූලි 24 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙම නව බදු ප්‍රකාශනය පැමිණෙන්නේ එම පසුබිම තුළය.

මීට අමතරව, බ්‍රසීලයේ ඩිජිටල් වෙළෙඳ පිළිවෙත් සම්බන්ධයෙන් පැවැති 301 වගන්ති විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, එරට භාණ්ඩ රැසකට 25%ක බද්දක් පැනවීමටද USTR ආයතනය පසුගිය සඳුදා යෝජනා කළේය. එමෙන්ම චීනය ඇතුළු වෙළෙඳ හවුල්කරුවන් 16 දෙනෙකුගේ අතිරික්ත කාර්මික ධාරිතාව ගොඩනැගීම පිළිබඳ තවත් ප්‍රධාන විමර්ශනයක ප්‍රතිඵලද ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෙම යෝජිත බදු සංශෝධන සම්බන්ධයෙන් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් දැක්වීම් ජූලි 6 වැනිදා දක්වා භාරගන්නා බවත් ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි

Search