ෆිදෙල් කැස්ත්‍රෝ ජීවිතයෙන් සමුගෙන වසරකට ආසන්නය. ඔහුගේ අවුරුදු 90ක ජීවිත කාලයෙන් දශක කිහිපයක් ඔහු කියුබාව පාලනය කළේය.
කෙනෙකුට ඔහු ඒකාධිපතියෙකි . තවකෙකුට , කියුබාව අධ්‍යාපනයෙන් සහ සෞඛ්‍ය අතින් , ධනවත් බටහිර රටකට නොදෙවැනි තැනකට ඔසවා තැබූ අනාගතවාදී පෙරගමන්කරුවෙකි. කෙසේ වෙතත් දැන් ඇමෙරිකාව කියුබාව සමග නැවත ගනුදෙනු ආරම්භ කර තිබෙන අතර කියුබාවේ ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රමිකව වෙනස් වීමට නියමිත බවට පෙරමග සලකුණු පහල වී තිබේ. කස්ත්‍රෝගේ කියුබාව කැරිබියන් කලාපයේ තිබෙන පාරිසරිකව වඩාත් සංවිධිත රාජ්‍යය ලෙසද ප්‍රසිද්ධය. සමාජවාදී ආර්ථික මොඩලයක් විශ්වාස කල කැස්ත්‍රෝ ශක්තිමත් පරිසරවාදියෙක්ද විය. මෙය මදක් සලකා බැලීම වටී.
2016 දී එක්සත් ජාතීන් නිකුත් කල මානව සංවර්ධන දර්ශකය අනුව තිරසාර සංවර්ධනයක් ලබන අතරේම තම රට වැසියන්ගේ සෞඛ්‍යය සහ ජීවණ තත්වය උසස් කිරීමට සමත් වූ රටවල් අතලොස්සෙන් එකකි කියුබාව. යේල් සහ හාවඩ් සරසවි විසින් ප්‍රකාශයට පත් කෙරෙන පාරිසරික කාර්ය සාධන දර්ශකයේ රටවල් 180ක් අතුරින් 45 වැනි ස්ථානයට පත් වීමට කියුබාව සමත් වී තිබේ. එය ගෝලීය බටහිර (එනම් දියුණු යයි සම්මත) රටවල් හැරුණු කොට තිබෙන රටවල් අතර පළමු තැනයි.
කියුබාවට තිරසාර මාවතට අවතීර්ණ වන්නට සිදු වුයේ එසේ නොකොට බැරි තැනකදීය . සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග එරටට , තමනට තිබූ ෆොසිල ඉන්ධන සුරක්ෂිතතාව අහිමි විය. බලශක්ති විෂයෙහිලා අලුත් යුගයකට පිය නගන්නට ඉතිහාසය විසින් ඔවුනට බලකොට සිටියේය.
කැස්ත්‍රෝ පළමුව ජයගත්තේ වචනයි. ඔහු ඉතා ශක්තිමත්වත් අධිෂ්ඨානශීලීවත් තමන් විසින් සිදු කරන්නට යන නව හරිත විප්ලවයක් ගැන ප්‍රකාශයට පත් කළේය. 1992 දී රියෝ දී ජෙනීරෝ නුවර පැවති එක්සත් ජාතීන්ගේ පාරිසරික සමුළුව ඇමතු කැස්ත්‍රෝ ප්‍රකාශ කලේ "බටහිර කෑදර පරිභෝජනවාදී සංස්කෘතිය මිහිකත වනසා තිබෙන බවත්, මීට බොහෝ කලකට පෙර සිදු කළයුතුව තිබූ දේවල් මේ මොහොතේ හෝ සිදු නොකරන්නේ නම් හෙට දිනය ඊට ප්‍රමාද වැඩි වීමට හොඳටම ඉඩ තිබෙන බවත්ය". ඔහුගේ විනාඩි පහේ කතාව මේ මුළු සමුළුව කළඹන්නට පමණක් නොව ඊළඟ සති කිහිපය තුලදී සම්පූර්ණ මාධ්‍ය අවධානයද දිනා ගන්නටද සමත් විය. මෙසේ කියූ ඔහු ඉතා කඩිනමින් තම රටේ භූමිය, වායුගෝලය සහ ජල සම්පත රැක ගන්නට නව නීති ගෙන ආවේය. අනූව දශකය මුලදී එලි දුටු කියුබාවේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ නීති පද්ධතිය එම වර්ගයේ ඉතා අංගසම්පූර්ණ නීති සමූහයක් වන අතර මෙවැනි විස්තරාත්මක නීති ගොන්නක් තම ව්‍යවස්ථාවට ඇතුල් කල පළමු රට වන්නේද කියුබාවයි.
කස්ත්‍රෝගේ කාලය තුලදී කියුබාවේ භූමියෙන් 9.1%ක් ව පැවති වන ගහනය 2015 වන විට 30% දක්වා ඉහල ගියේය. කියුබාවේ මුළු භූමියෙන් 22%ක වපසරියක් නීති මගින් සංරක්ෂණය කොට තිබේ. මීට අමතරව ඔවුන් මහ මුහුද සංරක්ෂණයට දී තිබෙන තැනද අද්විතීයය. සියයකට වඩා අධික සමුද්‍ර සංරක්ෂණ කලාප කියුබාව සතුව තිබේ. ඔවුන්ගේ මහ මුහුදින් හා වෙරළෙන් හතරෙන් පංගුවක් කිසිදු සංවර්ධන කටයුත්තකට හෝ එවැන්නක අතුරු බලපෑමකට හසු නොවන පරිද්දෙන් ආරක්ෂා කොට තිබේ.
කැරිබියානු දූපත් සමූහය අතුරින් වැඩිම ජෛව විවිධත්වයකට හිමිකම් කියන්නේ කියුබාවයි. එමෙන්ම ජෛව විවිධත්වයෙන් ලොව හතරවැනි ස්ථානයේ තිබෙන දූපත එයයි. එරට හමු වන ශාක වලින් 95%ක් සහ උභය ජීවීන්ගෙන් හරි අඩක් එරටට ආවේනික වෙති. මෙය ලොව ඉහලම ඒක දෙශීයතා අගයකි.
කැස්ත්‍රෝගේ පාලන කාලය තුලදී වැඩි දියුණු වූ තවත් අංගයක් නම් කාබනික ගොවි තැනයි. මෙයද ඔවුන්ගේ අත්දැකීම් විසින් බලකරන ලද ක්‍රියාවලියක අතුරු ප්‍රතිඵලයකි. එක් වරක් ඔවුනට විශාල ඉන්ධන හිඟයකට මුහුණ දෙන්නට සිදු විය. වැල නොකැඩී ඔවුන් වෙත පැටවුණු ආර්ථික සම්බාධක හේතුවෙන් කෘමිනාශක, වල් නාශක සහ කෘතීම පොහොර යනාදියේද අධික හිඟයක් ඇති විය. කෑම සඳහා සොයාගත හැකි එකම දෙය හාල් සහ ධාන්‍ය වර්ග කිහිපයක් වන තරමට ආහාර හිඟය උග්‍ර විය. කුකුල් මස් නිකුත් කලේ පවුලකට මසක් සඳහා එක් වරකි. මීට පිළිතුරු ලෙස කැස්ත්‍රෝ කලේ ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ධනවාදය දෙසට නම්‍යශීලී කිරීම වෙනුවට දකුණු ඇමෙරිකාවේ සමාජවාදී රාජ්‍යයන් දෙසට හැරීමයි. ඒ වන විටත් ලතින් ඇමෙරිකාවේ රටවල් ගණනාවක් යම් සාර්ථක භාවයකින් යුක්තව කාබනික ගොවිතැන අත්හදා බලා තිබිණි. කස්ත්‍රෝගේ මූලිකත්වයෙන් කියුබාව ඒ සඳහා විශාල පර්යේෂණාගාරයක් බවට පෙරලුනි . ගොවියන් අතර දැනුම සහ සම්පත් බෙදා හැරීම සඳහා සමූපකාර ක්‍රමය භාවිතා කෙරුණු අතර එමගින් ඉතා කාර්යක්ෂම නව ගොවි මාදිලියක් ගොඩ නැගීමට හේ සමත් විය. මෙහි ප්‍රථිපල වේගයෙන් ලැබිණි. මේ අලුත් මාදිලිය සාර්ථක බව පෙනුණු මුල් වටයේදීම ඔහු කලේ ඒ වන විට පුරන්ව ගොස් තිබුණු රජයට අයත් සමාගම කිහිපයකට අයත්ව තිබූ හෙක්ටරාය ලක්ෂ ගණනක් වූ ඉඩ කඩම් මේ ගොවි සමූපකාර වලට පවරා දීමයි. එසේ කිරීමෙන් කෙටි කලක් තුලදී කියුබාවට නොව මුළු කැරිබියානු කලාපයටම ප්‍රමාණවත් තරමේ කාබනික නිෂ්පාදනයක් සිදු කිරීමට කියුබානු ගොවියන් සමත් වූහ.
මීට සමගාමිව කැස්ත්‍රෝ විසින් දිරිගන්වන ලද තවත් අංශයක් නම් නාගරික ගොවි තැනයි. එනම් අධික ජනගහනයෙන් යුත් නාගරික ප්‍රදේශ වල තැනින් තැන ඉතිරිව තිබෙන හිස් ඉඩම් සහ ජනාවාස අතර කලාපයන් වල ගොවි තැන් කිරීමයි. මෙසේ නාගරිකව අස්වද්දන ලද භූමි ප්‍රමාණය හෙක්ටරාය් 50000ක් පමණ වෙතැයි කියැවේ. එක් වාර්තාවක කියවෙන්නේ හවානා අගනුවර පරිභෝජනය කෙරෙන එළවලු සහ පලතුරු වලින් 60% ක් මෙවැනි නාගරික ගොවිබිම් වලින් සැපයෙන ඒවා බවයි. තමුන්ගේ ස්වාභාවික පරිසරයේ පාරිසරික සේවාවන් උපරිමයෙන් භාවිත කරමින්, අහාර බෙදා හැරීමේ ක්‍රමවේදය සහමුලින්ම ඒවා නිෂ්පාදනය කරන ස්ථානය අනුව සකසාගනිමින් , හැකි පමණ ප්‍රාදේශීය ආහාර ඒ ඒ ප්‍රදේශ වලදීම පරිභෝජනය කිරීමට දිරිගන්වමින් ලොව වඩාත්ම කාර්යක්ෂම සහ නාස්තිය අඩු ආහාර නිෂ්පාදන සහ බෙදා හැරීමේ ජාලය පවත්වා ගන්නේ කියුබාවයි. බෙදා හැරීමේදී සිදුවන නාස්තිය වලක්වා ගැනීම අද දක්වා යුරෝපීය රටවලට පවා අභියෝගයක්ව පවතියි. කියුබාව ලොව කොතනකවත් නැති ස්වාභාවික කෘමිනාශක සහ පොහොර භාවිත කරයි. ඒ සියල්ල එරටට අවේනික පැළෑටි වලින් නිස්සාරිත ද්‍රව්‍යයන්ගෙන් සකස් කල ඒවාය. මෙවැනි නිෂ්පාදන බර ගණනකට ඔවුහු පේටන්ට් බලපත්‍රද ලබාගෙන ඇත. නිවර්තන කලාපයේ රටවලින් ජෛව මංකොල්ලය (bio -piracy) සහමුලින්ම දුරු කල රටක් වේද ඒ කියුබාවයි. මේ සියලු තත්ත්ව යටතේ වුවද සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් ඔවුහු තවමත් ආනයනය කරන නමුත් සීග්‍රයෙන් එම අගය පහල යමින් තිබේ. එරටෙහි සාම්ප්‍රදායික වෙළඳ බෝගය වන දුම්කොළ පවා සැලකිය යුතු ප්‍රමාණයක් දැන් දැන් වගා කෙරෙන්නේ කාබනික ආකාරයටය. කාබනික දුම්කොළ ඉතා මිල අධික වෙළඳ භාණ්ඩයකි.
කියුබාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් අදටත් වැඩි හරිය සපයන්නේ ෆොසිල ඉන්ධන දහනයෙනි. දෛනික ඉන්ධන අවශ්‍යතාවය බැරල් 140000ක් පමණ වන අතර මින් වැඩි ප්‍රමාණය වෙනිසියුලාවෙන් ආනයනය කෙරේ. අඩු වැඩිය සැපයෙන්නේ එරටෙහි ඇති ඛනිජ තෙල් නිධි තුනෙනි. මෙනයින් ගත් කල කියුබාව තවමත් බලශක්ති ක්ෂේත්‍රයේ , හරිත කලාපයට ශක්තිමත් ලෙස පැය ගසා නැත. මේ කාරණය කැස්ත්‍රෝ තමන්ගේ අවසාන කාර්තුවේදී අවධාරණය කොට තිබේ. එහි නව ජනපති රාවුල් කැස්ත්‍රෝගේ ප්‍රධාන තේමාවක් වී තිබෙන්නේ හරිත බලශක්තියයි. 2005 දී හැමූ සුළි සුළඟින් රටේ විදුලි රැහැන් පද්ධතියේ වැඩි කොටසක් විනාශ වූ අතර එතැන් පටන් ඔවුන්ගේ බලශක්තිය පිලිබඳ ප්‍රතිපත්ති වෙනස් විය. දැන් ඔවුන් විශ්වාසය තබන්නේ තිරසාර ලෙස බලශක්තිය උත්පාදනය කරන කුඩා ප්‍රමාණයේ බලාගාර විශාල ප්‍රමාණයක් කෙරේය. මෙවැනි කුඩා බාලාගාර වලින් මේ වන විට ගිගා වොට් තුනක විදුලියක් නිපදවෙන අතර එය රටේ සමස්ථ උත්පාදනයෙන් 14.8%කි. එමෙන්ම ඔවුහු තමන්ගේ මග දෙපස ඇති යල් පැන ගිය විදුලිය වැඩි වශයෙන් කා දමන බල්බ මිලියන 116ක් ඉවත් කලෝය. මෙය ඔවුන් හඳුන්වනේ බලශක්ති විප්ලවය නමිනි. මෙය තව දුරටත් පුළුල් කරමින් සෑම නිවසකටම විදුලි අරපිරිමැසුම් දායක උපකරණ මිලදී ගැනීමට දිරිගැන්වේ. ණය සහන සහ වට්ටම් ලබා දේ. මේ වැඩපිළිවලේ සංධිස්තානමය ඉලක්කයක් නම් 2030 වන විට රටේ සමස්ථ විදුලි උත්පාදනයෙන් 24%ක් තිරසාර ක්‍රම වලින් නිෂ්පාදනය කිරීමයි.
විශේසඥයන් පවසන්නේ මේ ඉලක්කය 2030ට කලින් සපුරාගත හැකි බවය. ඒ යටතේ ජෛව ඉන්ධන වලින් 14%කුත් , සුළං බලයෙන් 6%කුත් , සූර්ය තාපයෙන් 3%කුත් ජල විදුලියෙන් 1%කුත් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. ඇතැමුන් පවසන්නේ සූර්ය තාපයේ ශක්‍යතාවය මීට වැඩි බවය. දැනටමත් සූර්ය කෝෂ 14000කින් යුත් බලාගාරයක් කුප්‍රසිද්ධ ග්වන්තනමෝ යුධ කඳවුර ආසන්නයේ තිබෙන අතර එමගින් ගිගා වොට් 4.5ක විදුලියක් උත්පාදනය කෙරෙයි. මීට අමතරව දැනට ක්‍රියාත්මක සුළං බලාගාර හතරකි. මේවායේ සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 11.7ක් වන අතර සුළං බලය අතින් ගතහොත් කියුබාව ලෝකයේ 72වැනි ස්ථානයේ සිටියි. ඔවුහු දැනට කර තිබෙන ආයෝජන සියල්ලේ වැඩ නිම වූ විට මේ ප්‍රමාණය මෙගා වොට් 51 දක්වා ඉහල යයි. මෙගා වොට් 32 බැගින් වූ ජෛව ඉන්ධන බලාගාර පහක්ද 2020 වන විට ඉදිකිරීම් නිම වී ක්‍රියාත්මක වීමට නියමිතය. කියුබාව වරක් marabu නමැති ආක්‍රමණික ශාකයකින් විශාල තර්ජනයකට ලක් විය. ගොවි මිබ් හා ස්වාභාවික පරිසර පද්ධති වසාගෙන් පැතිරී මේ ශාකය වඳ කිරීමේ මගක් සොයමින් සිටින විටදී එරට විද්‍යාඥයෙක් ඒවා ඉන්ධන ලෙස භාවිත කරමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් සොයා ගත්තේය. අද වන විට මේ පැළෑටිය ගැමියන්ගේ ආදායම් මාර්ගයක් වී තිබේ.
කෙසේ වෙතත් කියුබාවට ඇති අභියෝග වල නිමක් නැත. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආ විගස කියුබාව සම්බන්ධයෙන් ප්‍රකාශ කල දේද එතරම් මිත්‍රශීලී නැත. ඒ අතරතුර කියුබාවද යම් ප්‍රමාණයකට ලිබරල් වෙළඳ ප්‍රතිපත්ති වලට නැඹුරු වෙමින් තිබේ. සමාජවාදී කියුබාවේ යහපත් ලක්ෂණ මෙන්ම අපුලයන්ද බොහෝ දෙනකුට පෙන්විය හැක. ඔවුන්ගේ පාරිසරික ප්‍රතිපත්තිය නම් අනිවාර්යය වශයෙන් මින් යහපත් ගොඩට වැටෙන්නකි. ආර්ථික මාදිලියේ කුමන වෙනසක් වුවත් මේ සුභවාදී පාරිසරික භාවිතාව රැක ගැනීම කියුබානුවන්ගේ වගකීමයි.
-දිනෙත් මල්ලිකාරච්චි