ධවල මන්දිරය සමග සෘජුව සබඳතා ඇති කර ගෙන තව බදු සහන ගත යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ධවල මන්දිරය සමග සෘජුව සබඳතා ඇති කර ගෙන තව බදු සහන ගත යුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් දැනටත් ගෙන යනු ලබන සාකච්ඡා අඛණ්ඩවම පවත්වා ගෙන යමින් පනවා ඇති බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු කරන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11 දා) පැවසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ඇමරිකාව විසින් මෙරටට පනවා ඇති සියයට 30ක බදු ප්‍රතිශතය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එහිදී මතු වූ සංවාදය මෙසේය.

ගයන්ත කරුණාතිලක මහතා –

ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් රජයේ කණ්ඩායම් ගිහින් සාකච්ඡා කළා. අපි දැක්කා ඇමැතිවරු ඒ සඳහා ගියා. මේ බද්ද ඇඟලුම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් සිදු වෙනවා. අපි රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමක් කරන්න කියා ඉල්ලනවා.

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා-

ඇමරිකානු බදු සම්බන්ධයෙන් කතන්දර කිහිපයක්ම පැන නැගුණා. අපි කලින් සඳහන් කළ ආකාරයටම අප්‍රේල් 02දා සිට ලෝකේ සෑම රටකටම වගේම අපිට සියයට 44ක බදු පැනවීමක් කර තිබෙනවා. අපි එදිනම කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග ගනු ලැබුවා. සූම් තාක්ෂණයෙන් එම ආයතන සමග සම්බන්ධ වී සාකච්ඡා පැවැත්වූවා. අපි පත්කළ රාජ්‍ය නිලධාරීන් අවස්ථා දෙකකදී ඇමරිකාවට ගියා. ද්විපාර්ශ්වික සාකච්ඡා මේ පිළිබඳව පැවැත්වූවා. මේ ඇතිවී තිබෙන වෙළෙඳ පරතරය බිලියන 03ක අපනයන අප සිදු කරනවා. ආනයන කරන්නේ මිලියන 300 ක් වැනි ප්‍රමාණයක්. ඒ නිසා වෙළෙඳ පරතරය සියයට 88ක් ඇවිත් ඉන් භාගයක බද්දක් තමයි අපට පැනවුණේ. අප එය අවම

කර ගැනීම සඳහා දිගින් දිගට සාකච්ඡා කරලා තමයි එය සියයට 30ක් දක්වා අඩු කර ගනු ලැබුවේ. අපි තවමත් එම සාකච්ඡාවල ඉන්නවා. ඒ සාකච්ඡාවන්හි සිටින අතරේ තමයි මේ නව බදු ප්‍රතිශතය ප්‍රකාශයට පත් කර ලිපි යවා තිබෙන්නේ. අගෝස්තු 01දාට පෙර අපි ද්වි පාර්ශ්වික ගිවිසුමකට ඇතුළත් වුණේ නැතිනම්, අපට සියයට 30ක බද්දක් පැනවෙනවා. මේ සියයට 30 දක්වා අඩුවුණෙත් අපි කළ එම සාකච්ඡා අනුවයි. මේ ලිපි යවපු රටවල් අතරින් අපට තමයි වැඩිම ප්‍රතිශතයකින් බදු අඩු කළේ. වෙනත් කිසිම රටකටම එහෙම අඩු කිරීමක් වෙලා නෑ. ඇතැම් රටවල්වලට වැඩි කර තිබෙනවා. බ්‍රසීලයට සියයට 10 සිට සියයට 50 දක්වා වැඩි කර තිබෙනවා. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය තමයි දෙරට අතර වෙළෙඳ සම්බන්ධතා වැඩි කර ගැනීම සඳහා පවත්වා ගෙන ආ සාකච්ඡා ඉදිරියටත් පවත්වා ගෙන යනවා. එම සාකච්ඡා අඛණ්ඩවම පවත්වා ගෙන යමින් මෙම බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු කරනවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා-

රටට හොඳම ගිවිසුම ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්න අපේ සහයෝගයත් ලබා දෙනවා. අප රටේ අපනයනවලින් 26.4%ක් යන ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකියි. ඇඟලුම් ක්ෂේත්‍රයේ ද 60%ක ගමනාන්තයක් වන්නේ ඇමෙරිකාවයි. මෙම බදු පැනවීමත් එය 44% සිට 30% දක්වා අඩු වීම හොඳයි. ඒ වගේම අප සමග අපනයන තරගකාරිත්වය ඇති රටවල් සමග සාපේක්ෂාව ලැබූ බදු සහන ගැනත් සිතිය යුතුයි.

දැන් බලන්න ජපානය 25%ක්, මෝල්ටෝව 25%ක් බෲනායි 25%ක් ද.කොරියාව සහ කසකස්ථාන් ද 25%ක්, ඉන්දියාව 26%ක් දක්වා අඩු කර ගෙන තිබෙනවා. අප රට ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමග සංසන්දනය කළ යුතුයි. ඉදිරි සති 03 තුළ අති විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කළ යුතු වනවා, මේ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට. සෘජුව ධවල මන්දිරය සමග සබඳතා ඇති කර ගෙන මේ බදු සහන තවත් ලබා ගත යුතු යි. රටට හොඳම ගිවිසුම ලබා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සමගි ජන බලවේගය සහයෝගය දෙනවා. මේ බදු නිසා රටට වන හානිය නැති කර ගැනීමට අවශ්‍ය වෙනවා.

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා-

අවංකවම මැදිහත් වෙනවා නම් හොඳයි. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉන්දියාවට තවම කර්ටසි ලිපිය ඇවිත් නෑ.

සභානායක ඇමැති බිමල් රත්නායක මහතා-

මේ ප්‍රමාණය ලබා ගන්න නිලධාරීන් සහ රජය මැදිහත් වුණා. ඒ ගැනත් සිතා බලන්න. හැම දේම සෘනාත්මකව බලන්න එපා.

හර්ෂණ රාජකරුණා මහතා- මෙම බදු පැනවීම ඉන්දියාව සහ බංගලාදේශයට අපට වඩා අඩු කළොත් විශාල ප්‍රශ්නයකට අපේ රට මැදි වෙනවා. ඒ නිසා පක්ෂ පාට බලන්නේ නැතුව මේ සඳහා වැඩ කරන්න සූදානම්. අපි ඒ ගැන ඉල්ලීමක් කළත් අපට අවස්ථාවක් ලැබුණේ නෑ.

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා- මේ කරුණු ඉදිරිපත් කිරීම වැරදි සහගතයි. මේ තියෙන්නේ ඇමරිකාවයි,

ශ්‍රී ලංකාවයි අතර ඇතිවුණු ප්‍රශ්නයක් නොවෙයි. මෙය ඇමරිකාව ලෝක වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති කළ පොදු තත්ත්වයක්. වෙළෙඳ පරතරය අනුව තමයි මේ බදු ප්‍රතිශතයන් පනවා තිබෙන්නේ. මෙය පොදු තත්ත්වයක්. අපි මේ ගැන මුලින්ම ඇමරිකාව සමග සාකච්ඡා කළා. අපට තමයි වැඩිම අඩු කිරීම කර තිබෙන්නේ. මේ ගැන අපි ඉදිරියටත් සාකච්ඡා කරනවා.

Search