ලංකාවේ දරිද්‍රතා මට්ටම අතිශය ඉහළ මට්ටමක පවතින බවත්,දරිද්‍රතාවයෙන් ගොඩ ඒමට සමාජ ආරක්ෂණය ප්‍රමාණවත් නොවන බවත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න පැවසුවේය.
ODI Global ආයතනය සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) විසින් සකස් කරන ලද “2025-2030 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ තිරසර හා පරිවර්තනීය වර්ධනයක් වෙනුවෙන් තීරණාත්මක උපාය මාර්ග“ පොත එළි දැක්වීම සඳහා කොළඹදී පසුගියදා (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
මෙම අවස්ථාවට International Economic Development හි අධ්‍යක්ෂ මහාචාර්ය Dirk Willem te Velde,ODI Globel හි ජ්‍යෙෂ්ඨ සාමාජික ගනේෂන් විග්නරාජා ද සහභාගි විය.
දේශීය වශයෙන් මෙරට ආර්ථිකයේ පවතින අවදානමෙන් තවමත් ගොඩට පැමිණ නැතැයිද,ඉදිරියේදී රටට අභියෝගාත්මක කරුණු කීපයකට මුහුණදීමට තිබෙන බවද ඔහු පැවසීය.
“2027 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සමග තිබෙන වැඩසටහන අවසාන වෙනවා. ඊට පසුව අපිට සිදුවෙනවා අපේම ප්‍රතිපත්ති සකස් කරගෙන ඉදිරියට යාමට. දෙවනුව 2028 වසරේදී අපට සිදුවී තිබෙනවා දැනට නැවතී තිබෙන විදේශ ණය ගෙවීම් නැවත ආරම්භ කිරීමට. වසර 2031 දී තමයි අපි බලාපොරොත්තු වන මට්ටමට ණය තිරසරභාවය ලබාගත යුත්තේ. මේ ගමන් මාර්ගය ඉතාම අභියෝගාත්මකයි. ඒ ගමන් මාර්ගයට ආර්ථික වර්ධනය ඇතුළත් වෙලා නෑ.
අපි ලබාගෙන තිබෙන ආර්ථික තිරසාරබව තහවුරු කරගැනීමට ආර්ථික වර්ධනය අත්‍යවශ්‍යයි. ආර්ථික වර්ධනය එලෙස පවත්වා ගැනීමට කටයුතු කිරීම මගින් තමයි නැවත ආර්ථික අර්බුදයකට ලංකාව ඇදවැටීම වළක්වා ගැනීමට හැකි වන්නේ. ආර්ථික වර්ධනය තුළින් තමයි ආර්ථික වර්ධනය ඇතිකර ගැනීමට හැකි වන්නේ.
සියවැනි නිදහස් උළෙල සමරන අවස්ථාව වන විටදීවත් ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීමට නම් මෙරට ආර්ථික වර්ධන වේගය හතක,අටක හෝ ඊට එහා අගයක පවත්වාගෙන යාමට. අපි හඹා යන්නේ වසරින් වසර ඈතට යන ඉලක්කයක්.
ආර්ථික වර්ධනය කරා යන ගමනේදී සාර්ව ආර්ථික ස්ථායිතාව එලෙසම පවත්වාගෙන යාම,ප්‍රතිපත්තිමය එකඟතාවන් ආරක්ෂා කර ගැනීම,විශේෂ වෙළෙඳ ප්‍රතිපත්ති සකස් කර ගැනීම,දරිද්‍රතාව අඩුකර ගැනීම යනාදී උපාය මාර්ග ඇතුළත් කරුණු අපි ඉදිරිපත් කර තිබෙනවා. මෙරට ආදායම් බදු එකතු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කාර්යක්ෂම කළයුතුයි..’’යැයිද මහාචාර්යවරයා කීවේය
ලංකාවේ දරිද්‍රතා මට්ටම ඉහළට
