රාජ්‍ය නිලධාරීන් සඳහා මහජන මුදල් වැය කරන විට එකී මුදල් වැය වූ ආකාරය පෞද්ගලික තොරතුරු ලෙස සලකා සඟවාගෙන සිටීමට කිසිදු රාජ්‍ය ආයතනයකට අයිතියක් නොමැති බවත් අර්ධ අධිකරණ බලතල සහිත අධිකාරියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව එකී තොරතුරු නිකුත් කරන ලෙස නියෝග කොට තිබියදීත් එකී නියෝග පැහැර හැර එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බවත් අභියාචනාධිකරණය ප්‍රකාශ කරයි.
අභියාචනාධිකරණය මේ බව කියා සිටියේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග තුනක් අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ගොනුකර තිබූ පෙත්සම් තුනක් ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කරමින් තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස කටයුතු කළ ජී. සුරේන්ද්‍ර හා ඩී.ජේ. විජේවර්ධන හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව, තොරතුරු කොමිසමෙන් නියෝග කළ පරිදි අදාළ තොරතුරු මුදා හැරීමට අභියාචනාධිකරණය ද නියෝග කළේ ය.
අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ හා ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍රගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ල එකී තීන්දු නිකුත් කළේ ය.
ටෙලිකොම් ආයතනයේ සාමාන්‍යාධිකාරි ධූරවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් එහිදී එක් එක් අපේක්ෂකයන් ලබාගත් ලකුණු හා ඔවුන්ගේ නම් ඇතුළත් තොරතුරු ලබා දෙන ලෙසට කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නිසා පෙර කී වගඋත්තරකරුවන් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට කළ පැමිණිලි සලකා බැලූ එම කොමිෂන් සභාව එකී තොරතුරු ලබා දෙන ලෙසට පැමිණිලිකාර ටෙලිකොම් සභාවට නියෝග කොට තිබූ බවත් නඩු විභාගයේදී කියැවිණි.
එයට අමතරව පැමිණිලිකාර සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා විසින් විවිධ කටයුතු සඳහා 2010 වසරේ සිට 2019 වසර දක්වා සිදුකළ විදේශ සංචාරවලට ලබාගත් ගුවන් ටිකට්පත් සඳහා වැයවූ මුදල් පිළිබඳ ඇතුළු තොරතුරු ද හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජී. සුරේන්ද්‍රන් විසින් ඉල්ලා තිබූ අතර එම තොරතුරු ලබා දීම ද ටෙලිකොම් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ පිළිබඳ ලැබුණු පැමිණිලි සලකා බැලූ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව එකී තොරතුරු ලබා දෙන ලෙසද නියෝගකොට තිබූ අතර එකී නියෝගය ද අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනෙක් පෙත්සම ගොනුකර තිබිණි.
ව්‍යවස්ථාදායකය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්මත කර ඇත්තේ, එය කාලීන අවශ්‍යතාවක් බවට මැනවින් වටහාගෙන බැවින් පෙත්සම්කරුවන්ට තම කොමිෂන් සභාව විසින් ලබා දුන් පෙර කී නියෝගයට පිටුපා කටයුතු කිරීමේ නීතිමය අයිතියක් බව එම කොමිෂන් සභාව වෙනුවෙන් නීතිඥ අරුණා සේනාරත්න සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි කුලරත්න විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නා ය.
කොමිෂන් සභාවේ එකී තීරණය තම අධිකරණය ද පිළිගත්තේ යැයි විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ එකඟතාව ඇතුළු විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ලියා සකස් කළ සාම තීන්දු මගින් පෙන්වා දුන්නේ ය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ටී. සිවනන්දරාජා වගඋත්තරකර ජී. සුරේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි අතර වගඋත්තරකාර සී.ජේ. විජේවර්ධන වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටියේ ය.
නීතිඥ හලිජා බෙගම්ගේ උපදෙස් පරිදි නීතිඥ ප්‍රබුද්ධ හෙට්ටිආරච්චි සමග ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ ය.
රාජ්‍ය බලධාරීන් හා වගකිවයුතු නිලධාරීන් ඔවුන් වෙත පැවරී ඇති රාජකාරි වගකීම් ඉටුකිරීමේදී විනිවිදභාවය මෙන් ම වගවීම සම්බන්ධයෙන් ද අතිශයින් සැලකිලිමත් විය යුතු බව හා රාජ්‍ය අධිකාරිය තම උසස් නිලධාරීන්ගේ කුමන කටයුත්තක් සඳහා හෝ මහජන මුදල් වැයකරන්නේ නම් එකී වැයකිරීම් පිළිබඳ සවිස්තර තොරතුරු දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇතැයි ද අභියාචනාධිකරණය තීන්දු කළේ ය.