අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලයි

අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය මේ අවස්ථාවේදී රාමනාදන් අර්ජුනා මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව ඊයේ (02) දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය ඒ බව දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන්

 

පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති. 


පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ රජයේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවත් රජයේ සේවයේ යෙදී සිටියදී පාර්ලිමේන්තුවට තේරී පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් සඳහන් කරන පෙත්සම්කරු අර්ජුනා මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකර එම මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී. පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා කරුණු දක්වමින් රජයේ වෛද්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි සිය සේවාදායකයා වැඩ තහනමට ලක්ව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූයේ යැයි කීය.


රජයේ වෛද්‍යධුරයේ වැඩ තහනමට ලක්ව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූ තම සේවාදායකයාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, එහි අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් ඇතැයිද කීය. රාජ්‍ය සේවා කොමිසමේ ඊතීන්ට අනුව රාජ්‍ය සේවකයකු වශයෙන් සැලකෙන්නේ කිසියම් රාජ්‍ය ආයතනයකින් වැටුප් ලබන පුද්ගලයකු පමණක් බවත් පෙන්වා දුන් නීතිඥවරයා සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාව වන විට වැඩ තහනමට ලක්ව සිටි අයකු බවත් යම් රජයේ සේවකයකුට වැටුප් ගෙවීම නතර වූ විගස ඔහුගේ රාජ්‍ය සේවය අවසන් වන බවත් සඳහන් කළේය.

 

රාජ්‍ය සේවා කොමිසමේ ඊතීවලට අනුව අර්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වන අවස්ථාව වන විට වැටුප් රහිත වැඩ තහනමට ලක්ව සිටි නිසා ඔහු රජයේ සේවකයකු ලෙස සැලකිය නොහැකි බවත් එම තත්වය යටතේ තම සේවාදායකයාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, එහි අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිදු නීතිමය බාධාවක් නැතැයි පැවසූ නීතිඥ සේනානි දයාරත්න මහතා එම තත්වය යටතේ බැලූ බැල්මට සිය සේවාදායකයාට එරෙහිව නඩුව තහවුරු කිරීමට පෙත්සම්කාර පාර්ශවය අසමත් වී ඇති හෙයින් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් වගඋත්තරකරුවන්ට අගෝස්තු පළමුවැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතීසි නිකුත් කළේය.වගඋත්තරකාර රාමනාදන් අර්චුනා මහතාට මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් මේ අවස්ථාවේ නිකුත් නොකරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය. පෙත්සම විභාගය අගෝස්තු පළමුවැනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරු මඩුල්ල පෙත්සම එදින කැඳවීමට ද නියම කළේය

 

Search