රට දිනවන වැඩපිළිවෙලකට සුදානමින් සිටින මෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වන සංවත්සරය අමතමින් ඔහු සිදු කළ කතාව පහතින්,
"අප පක්ෂයේ සමාරම්භය සිදුවන්නේ යටත් විජිත වාදයෙන් නාමමාත්‍රීකව අත්මිදී වසර කිහිපයක් ගත වන විට, එනම් 1951 වන විට පැවති දේශපාලන වාතාවරණය හා ප්‍රතිපත්ති ජනතාවාදී හෝ ස්වදේශික නොවන නිසාත්, ඒවා ජාතික අනන්‍යතාව පවත්වා ගනිමින් ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කරනු වෙනුවට යටත් විජිතවාදයේම රූකඩ හෝ සුදු සෙවැනැලි ලෙස ක්‍රියාත්මක වූ නිසාත්ය.
එනිසාම අප පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතානන් හා සමකාලීන නායකකාරකාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිරාජ්‍ය විරෝධය පදනම් කරගත් පුලුල් ජාතිකරාජ්‍යවාදී දැක්මක් හා සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩ නැගූහ. එහිදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි වැනි චින්තකයන්ගේ ආභාසයද, මහා සංඝරත්නය පෙරටුකරගත්, පුලුල් දේශපාලනික ප්‍රතිසංස්කරණ හා යටත් විජිතවාදයෙන් පූර්ණ නිදහස අපේක්ෂා කළ වෙදැදුරන්, ගුරු භවතුන්, ගොවීන් හා කම්කරුවන්ගෙන් සමන්විත ඓතිහාසික පංච මහා බලවේගයේද මෙහෙයුම් දායකත්වයද ප්‍රභල ලෙස බලපෑ බව මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුය.
ඒ උත්තරීතර යුග මෙහෙවරට අප පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතානණ්ට ස්වකීය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ අතර, ඒ උතුම් ජනතාවාදී පරමාර්ථ ඉදිරියට ගෙන ඒමට විවිධ සමාජ දේශපාලනික කණ්ඩායම්, පක්ෂ, සංවිධාන සමගින් ලෝකයට ආදර්ශ දෙමින් නායකත්වය දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ඊට වන්දි ගෙවන්නට සිදුවූයේ එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කරගනිමිනි.
මිත්‍රවරුණි - දේශපාලන පක්ෂයකට වසර හැත්තෑවක් සම්පූර්ණ වීම සුවිශේෂී වැදගත් සිදුවීමක්. අප පක්ෂයේ ඉතිහාසය, අප උගත් පාඩම් ආදිය සම්පිණ්ඩනය කරමින් මෙතෙක් අප ආ ජයග්‍රාහී ගමන ගැන බොහෝ දේ කිව හැකි නමුත්, අද අප මේ 70 වන සංවත්සරය සමරන්නේ සමස්ත මානව ශිෂ්ටාචාරයම දැවැන්ත අභියෝගයක් ඉදිරිපිට අසරණව සිටිද්දී බව මතක තබාගත යුතුයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝක වාසි සියලු මිනිසුන්, කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බියෙන් අවිනිශ්චිතතාවයෙන්, අවදානමෙන්, අපහසුවෙන් දිවිගෙවන මේ තීරණාත්මක යුගයේ අප පක්ෂයේ 70 සංවත්සරය තාක්ෂණික මාධ්‍ය ඔස්සේ නිරෝධායන නීතිරීති හා ආචාර ධර්මයන්ට එකඟව සැමරීමට වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප කටයුතු කළේ හුදු පටු පක්ෂ දේශපාලනික අරමුණක් මුදුන් පමුණුවා ගන්නට නොවේ. යටත් විජිතවාදයෙන් නාමමාත්‍රීකව මිදුනු 1948 වසරෙන් මෙපිට 2021 දක්වා වූ 73න් වසරක ලාංකිය දේශපාලනයේ නූතන ඉතිහාසය තුළ වඩාත්ම ජනතාවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී එමෙන්ම සංවේදී හා අනාගතවාදී දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළාවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වැඩිම රාජ්‍ය නායකයන් ප්‍රමාණයක් නිර්මාණය කලාවූ අප පක්ෂය, කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ආදරණිය ජනතාව හෘදයාංගමව අමන්ත්‍රණය කිරීමට හා වඩ වඩාත් ධෛර්ය සම්පන්නව මෙම අවස්ථාවට මුහුණදීමට ශක්තිය ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කරගත යුතුයැයි සිතුවෙමු.
වසංගතය මානව ශිෂ්ඨාචාරය බිළිගන්නේ දුප්පත් පොහොසත්, පාට පක්ෂ ජාති ආගම් කුළමල, පංති භේධ අනුව නොවේ. වසංගතය ආරම්භයේදී ලෝකයේ බලවත් යැයි සම්මත රටවල මිනිසුන් සිය දහස් ගණනින් මිය යද්දී ඒ රටවල පාලන තන්ත්‍රයන් වෙතින් පල වූ අසරණභාවය දෙස කම්පනයෙන් යුක්තව බලා සිටි මම, මාගේ මාතෘභූමියේ කොරෝනා මරණ සංඛ්‍යා ලේඛන හා ආසාධිතයන්ගේ සංඛ්‍යා ඉහලයාම දෙස දැඩි වේදනාවෙන් බලා සිටිමි. මේ වන විට වසංගතය නිසා මරණයට පත්වූ සියල්ලන්ට මම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔවුන්ගේ පවුල්වල බන්ධූ මිත්‍රාදීන්ට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමි. සියලු ආසාදිතයන්ට උතුම් තුණ්රුවනේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
කොරෝනා වසංගතය විසින් බිලි ගෙන ඇති ජීවිත වලට අමතරව, ඒ නිසා අකර්මණ්‍යව ඇති ආර්ථික ක්‍රියාකාරකම් සුළු පටු නැත. විශේෂයෙන් ම දෛනික ජීවනෝපායන්වල නිරත ජනයා, ග්‍රාමීය සහ නාගරික දිළිඳු ජනයා ඇතුළු සියලු මට්ටම්වල ජනයාගේ ආර්ථික අපහසුතා සුළුවෙන් තැකිය නොහැකිය. ඊට අමතරව, කොරෝනා වසංගතයේ සමාජ බලපෑම්ද ඛේදනීය බව අප පක්ෂයේ අදහසයි. පාසල් යා ගත නොහැකි දරුවෝ ලක්ෂ ගණනක් නිවෙස් වලය. තාක්ෂණික ක්‍රම ඔස්සේ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමට දහස් සංඛ්‍යාත ගුරුවරුන් ගත් උත්සහය ප්‍රසංශනීය ය. එසේ වුවද රටේ සියලු දූ දරුවන් තාක්ෂණික අධ්‍යාපන අවස්ථාවන්ගෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය මූළික පහසුකම් වලට ළගා වී ඇත්ද යන්න ගැටලුවකි. පසුකාලීනව අහිතකර මානසික හෝ ශාරීරක බලපෑම් ඇතිවෙතැයි විශේෂඥයින් පෙන්වා දෙන ඩිජිටල් අධ්‍යාපන අවස්ථා සමග ප්‍රවේසමෙන් සම්බන්ධ කරවන අතරම, අතිරේක පොත පත කියැවීම, වෙනත් සමාජ දැනුම් මූළාශ්‍ර වෙත සමීප කරවීම ඔබසතු සාම්ප්‍රදායික දැනුම් දරුවන්වෙත සම්ප්‍රේෂණය කිරීම ආදිය කරන මෙන් මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමි. ගම හා පන්සල අතර සම්බන්ධය වැඩි කරවන කඨින පූජෝත්සව වසර දෙකකින් පවත්වා ගත නොහැකි විණි. දරුවෝ දහම්පාසල් නොඑති. ගම පන්සල ඈත් වීම බෞද්ධ සමාජයට හානිකර සේම හින්දු කතෝලික ඉස්ලාම් ආදී ආගමික මධ්‍යස්ථාන වලින් ඒ ඒ භක්තිකයන්ද කණගාටුදායක ලෙස ඈත් කරවනු ලැබ ඇත. කොරෝනා වසංගතය නිමාවූ කලෙක විසඳා ගැනීමට බොහෝ සමාජ අර්බුධ අපට ඉතිරිවනු ඇත.
ආදරණීය රටවැසියනි, මේ අසීරු කාලයට ධෛර්යයයෙන් යුතුව අප මුහුණ දිය යුතු අතරම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග නිරන්තරයෙන් සමීපව සිටින බව වගකීමෙන් යුක්තව සිහිපත් කරමි. මේ අසීරු අවස්ථාවේ අප පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ස්වකීය වැටුප කොරෝනා කළමනාකරණ කාර්ය සාධක බලකායට ප්‍රදානය කරන අතර, අප පක්ෂයේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවිධාන උපයෝගි කරගනිමින් ජාතික රුධිර මධ්‍යස්ථානය සඳහා රුධිරය පයින්ට් දස දහසක් ලබාදීමේ දැවැන්ත පුණ්‍යකර්මයද සම්බන්ධීකරණය කරමින් සිටිමු. විවිධ අඩුලුහුඬුකම් තිබිය හැකි නමුත්, වසංගතය කළමනාකරණය කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට රෝහල් වල, ගම් මට්ටමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දක්වා වූ සෞඛ්‍ය වෘත්තිකයින්ද, ත්‍රිවිධ හමුදාව හා පොලිසියද අභියෝග මධ්‍යයේ දරන්නාවූ පරිශ්‍රමය අගය කරමි. එසේම එම ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායි කරගැනීමට අවැසි සහයෝගය ලබාදීමටද අප සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස වගකීමෙන් සඳහන් කරමි.
ශ්‍රී ලංකාව මෙන්ම දකුණු ආසියානු කළාපයේ බොහෝ රටවල ආර්ථික ප්‍රගමනය අඩාල කරවන ප්‍රධාන සාධකය වූයේ ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදී සංවිධාන බොහෝ භයානක සංවිධාන ලෙස ලෝක ජනමතය ඉදිරියේ ඇතැම් පාර්ශව හුවා දැක්වූවද පර්යේශක මතය වන්නේ ත්‍රස්තවාදීන් යනු බොහෝ දුර්වල කල්ලි හා කණ්ඩායම් බවය. එහෙත් ඇතැම් ලෝක දේශපාලන න්‍යාය පත්‍ර, රහස් ඔත්තු සේවා අවශ්‍යතා, ජාතික රාජ්‍යයන් හා ස්වදේශිකවාදී රාජ්‍ය ප්‍රතිපත්ති හා නායකයන් විනාශ කිරීම, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ආණ්ඩු අඩපන කිරීම පිණිස ත්‍රස්ත කල්ලි අපයෝජනය කරන බව විද්වත් නිරීක්ෂණයයි. 2009 වර්ෂයේදී අප එල් ටී ටී ඊ ත්‍රස්තවාදයෙන් අත්මිදුනද, තවත් වසර 10ක් ඇවෑමෙන් ඉස්ලාම් අන්තවාදීන්ගේ බිහිසුනු මතුවීමක් සිදුවිය. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන්ද, එම ප්‍රහාරයෙන් පසුව උද්ගත දේශපාලන ගාම්‍යයන් පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුම්වත් ය. පවතින ත්‍රස්තවාදී අභියෝග මෙන්ම සති කිහිපයකට පෙරාතුව ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පෙරලිය කලාපීය වශයෙන් කෙසේ බලපාන්නේද යන කරුණද ගැඹුරින් විමසමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි පටු දේශපාලනික සීමාවන්ගෙන් ඔබ්බට යමින් ත්‍රස්තවාදය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන්නෙමු.
අප ජීවත් වන්නේ මානව බුද්ධියේ නිම් වලලු ඉතා වේගයෙන් වෙනස් වන දැනුම් සමාජයක ය. ඒ දැනුම් සමාජයේ නිම් වලලු පුළුල් වීමේ වේගය අන්තර් ජාලයේ බලපෑම සමග දෙගුණ තෙගුණ වී ඇත. වර්තමාන තරුණ පරපුර මින් දශකයකට එපිටින් සිටි තරුණ පරපුර නොවේ. දැනුමේ, නවීන ක්‍රම විද්‍යාවේ, හා ලොව පුරා ස්ථාපිත සමාජ වෘත්තීය හා ආර්ථික සබඳතා වලින් ඔවුන් පිරිපුන් ය. අනෙක් අතින් නව ලිබරල්වාදී ප්‍රවාහයන් වඩ වඩාත් වේගයෙන් අපේ පුරුෂාර්ථයන් හා සංස්කෘතික වටිනාකම් අභියෝගයට ලක් කරමින් සිටී. ගෝලීය වෙළඳපොල සංස්කෘතිය සියලු සමාජ සම්බන්ධතා හා වටිනාකම් අතික්‍රමණය කරමින් සිටී. මිත්‍රවරුණි, අප වෙනස් විය යුත්තේද, විසඳුම විය යුත්තේද 21 වන සියවසේ ජීවත් වන පුරවැසියාටය. අනාගත ඡන්ද දායකයා යනු හුදෙක් යටිතල පහසුකම් හෝ වෙනත් සුභසාධන ආධාර අපේකෂා කරන්නෙකු නොවේ. අනාගත ශ්‍රී ලාංකිකයාගේ සමාජ දේශපාලන විඥාණය බෙහෙවින් පුලුල් වන බැවින්ම ගතානුගතික දේශපාලන ප්‍රවේශයන් ඉක්මනින් අවලංගු වී නිෂ්ප්‍රභා වී යනු ඇත. මේ කරුණු මනාව අධ්‍යයනය කරමින් දශක කිහිපයක ඉදිරිගාමී ජාතික සංවර්ධන දැක්මක් වෙත ජාතිය මෙහෙයවීමට අප පක්ෂය මනා සංයමයකින්, විනිවිදභාවයකින්, පුලුල් සහභාගීත්වයකින් යුක්තය නවීකරණය කිරීම අප දැනටමත් අරඹා ඇත.
පසුගිය මාර්තු මස අගදී මාතලේ පැවැත්වූ දෙදින ක්‍රමෝපායික සැළසුම්කරණ වැඩමුළුව පදනම් කරගනිමින්, අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව හා දිස්ත්‍රික්, ප්‍රාදේශීය බල මණ්ඩල, ග්‍රාමීය ශාඛා සමිති දක්වා වූ ජාලය ඉදිරි ක්‍රියාන්විතය සඳහා විධිමත්ව සූදානම් කෙරෙනු ඇත. ඓතිහාසික මාතලේ ප්‍රකාශය ප්‍රකාරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදය පෝෂණය කිරීම, පක්ෂයේ සම්පත් පදනම ශක්තිමත් කිරීම, ශ්‍රී ලාංකීය දේශපාලනය සඳහා නව ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීම, හා අවසාන වශයෙන් ඒ ඔස්සේ ජාතික සංවර්ධනය සඳහා අවශ්‍ය මැතිවරණ ජයග්‍රහන අත්පත් කරගැනීම යන ප්‍රධාන තේමාත්මක දිශානතීන් ඔස්සේ සමස්ත පක්ෂයම පුලුල් යාවත්කාලීන කිරීමකට ලක් කෙරෙනු ඇත.
අභියෝග, අවලාද, තාවකාලික පසුබෑම් ආදිය කවර නම් වූව දේශපාලන පක්ෂයකට පොදු කරුණුය. ඒවා පසුබැසීමට හේතූන් නොව, ඉදිරි ගමන වඩ වඩාත් ශක්තිමත් කර ගැනීමට වටිනා පාඩම් ලෙස ගුරු කොට ගත යුතු බව මගේ විශ්වාශය යි. අප පක්ෂය ඉතිහාසය පුරාවටම දේශයේ උන්නතිය වෙනුවෙන්, ජීවිත පරිත්‍යාගයෙන්, ලෙයින් කඳුලින් ඩහදියෙන්, කැපවී ක්‍රියා කළ පක්ෂයකි. ඒ සඳහා ඇති සිය ගණනක් අතීත උදාහරණ ගෙන හැර පෑමට මම මෙය අවස්ථාවක් කර නොගනිමි. ඒ සියලු සටන් වලදී අප පැහැදිලිව පෙනෙන සතුරන් සමගද, පැහැදිලිව නොපෙනෙන ද්‍රෝහීන් සමගද අවදානම් සහගත අරගල වල නිමග්නව සිටි ආකාරය 1951 සැප්තැම්බර් 02 දා සිට මේ දක්වා අප පක්ෂයේ ඉතිහාසය ආවර්ජනයෙන් තේරුම් ගත හැකිය.
පක්ෂය ගොඩ නැගිය යුත්තේ මේ රට, මේ රාජ්‍යය වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය යි. අපේ සමාරම්භයේ සිටි සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය 21 වන සියවස වන විට අතිශයින් සංකීර්ණ බලවේග, ජාල, සමූහ හා සංවිධාන ලෙස මතුවී තිබේ. හුදු බල පෙරලියකින් ජාතික සංවර්ධන ඉලක්ක ජය ගත නොහැකි බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා නිරීක්ෂණයෙන් පෙනී යයි. තිරසාර සංවර්ධන ඉලක්ක වැනි ජාත්‍යන්තර සංවර්ධන න්‍යාය පත්‍ර, ගෝලීය දේශපාලන ප්‍රවණතා ආදිය සමග මනා අනුසන්ධානයකින් යුක්තව නිර්මාණය වන ජාතික සංවර්ධන දැක්මක්, වැඩපිළිවෙලක් හා මෙහෙයුම් ක්‍රමවේදයක් සහිතව, සමකාලීන සියලු බලවේග සමගින් දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට සූදානමින් සිටින්නැයි මම ඔබෙන් ඉල්ලමි.