රනිල්ගේ කාලයේ 5%ක් වූ ආර්ථික වර්ධන වේගය අනුරගේ කාලයේ 3.1% කට පල්ලම් බහි

රනිල්ගේ කාලයේ 5%ක් වූ ආර්ථික වර්ධන වේගය අනුරගේ කාලයේ 3.1% කට පල්ලම් බහි

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ මෙරට ආර්ථික වර්ධන වේගය පහත වැටී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලනය අවසන් වන විට 5%ක් පමණ පැවති ආර්ථික වර්ධන වේගය, වසරක් වැනි කෙටි කාලයක් තුළ 3.1% දක්වා පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින්ම ඉදිරිපත් කරන ලද දත්ත මගින් තහවුරු වන බව ඔවුහු පවසති.

ආර්ථික විශ්ලේෂකයන් සිහිපත් කර සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 5%ක ආර්ථික වර්ධනවේගයක් ගෙන දුන්නේ 2022 වසර වන විට -7%ක පමණට වැටී තිබූ ආර්ථිකයක් බවයි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඇඟලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවයි.

එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ඉදිරිපත් කළ වාර්තාවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළ රජයේ ආදායම අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ගොස් තිබේ.

රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ඉහළ ක්‍රියාකාරීත්වය හේතුවෙන් රජයේ ආදායම රුපියල් බිලියන 2,318ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය අපේක්ෂිත ඉලක්කයට වඩා 3%ක වැඩිවීමකි.

නමුත් මෙම සාර්ථකත්වය ආර්ථික වර්ධනය බවට පරිවර්තනය කිරීමට රජය අසමත් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්, බහාලුම් නිෂ්කාශනය සඳහා රේගුවේ ගතවන කාලය දින 9-10 දක්වා ඉහළ ගොස් තිබීම ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. රේගු නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළේ මෙම කාලය දින 2-3 දක්වා අඩු කිරීමට කටයුතු කරමින් සිටින බවයි. නමුත්, ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා මෙවැනි පරිපාලනමය බාධා කඩිනමින් ඉවත් කිරීම අත්‍යවශ්‍ය බව විශ්ලේෂකයෝ අවධාරණය කරති.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය පිළිබඳවයි. සිගරට් සඳහා වන බදු ප්‍රතිපත්තිය පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස රජයේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා විසින් නිලධාරීන්ට උපදෙස් දීමෙන් පෙන්නුම් කරන්නේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතාවයක් පවතින බවයි.

මෙම තත්ත්වය තුළ, ආයෝජක විශ්වාසය බිඳී යා හැකි අතර, එය ආර්ථික වර්ධන වේගය පහළ යෑමට සෘජුවම බලපාන බව විශ්ලේෂකයන්ගේ මතයයි. ආර්ථිකය භාර ගන්නා විට පැවති 5%ක වර්ධන වේගය වසරක් තුළ 3.1%ක් දක්වා පහත වැටීම, රජයේ මූල්‍ය කළමනාකරණය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව නැවත විමසා බැලීමට කාලය එළඹ ඇති බවට සංඥාවක් බව ඔවුන් වැඩිදුරටත් පවසති

Search