හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (12) අධිචෝදනා ගොනු කළේය.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මාස 21ක කාලයක් තුළ රමිත් රඹුක්වැල්ල රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයාගෙන ඇතත්, උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිචෝදනා කර ඇත.
එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වත්කම් අතර සුඛෝපභෝගි නිවාස, ජීප් රථ ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේදී රමිත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර තිබුණි.
එම ධුරයේ කටයුතු කරන අතරතුර 2022 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2023 වසරේ නොවැම්බර් මස 14 වනදා අතර දක්වා මාස 21ක කාලසීමාව තුළ ඔහු රුපියල් 296,566, 444.76 ක් වටිනා වත්කම් හා දේපොළ උපයාගෙන ඇත.
ඉන් රුපියල් 275,302,616.06ක වටිනාකමකින් යුත් මුදල් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට රමිත් රඹුක්වැල්ල අපොහොසත් වී තිබේ.
අල්ලස් කොමිසම දූෂණ විරෝධී පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇත්තේ ඒ අනුවය.
තවද එලෙස උපයාගත් ආකාරය අනාවරණ කිරීමට නොහැකි වූ වත්කම් අතර, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 8ක් සහ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක් වටිනා නිවාස දෙකක් ඇත.
එමෙන්ම රමිත්ගේ නමින් තිබෙන බැංකු ගිණුම් 4ක්, ඔහුගේ බිරිඳට අයත් බැංකු ගිණුම් 4ක්, එක්කෝටි අසූ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් discovery jeep රථයක් ඇතුළු වත්කම් රැසක් පවතින බව වාර්තා වේ.
එසේම විත්තිකරුගේ හා බිරිඳගේ නම්වලින් ඇති බැංකු ගිණුම්වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයිද අල්ලස් කොමිසම අනාවරණ කරගෙන තිබේ