දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන දින 29ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛiවරියක වූ මහේෂි විජේරත්න මහත්මිය රුපියල් 50,000ක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක ඇප බැඳුම්කර මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (15දා) නියෝග කළාය.
එම සැකකාරිය වෙනුවෙන් ඇප බැඳුම්කර අත්සන් කරන ඇපකරුවන් පවුලේ සමීප ඥාතීන් වියයුතු බවට ද කොන්දේසියක් පනවනු ලැබුවාය. සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකාරිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් ද පනවනු ලැබුවාය. ඇප ලබාගැනීමෙන් පසු කිසිම හේතුවක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීම සිදුනොකරන ලෙසට ද සැකකාරියට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විදේශගතවීම වළක්වමින් තම අධිකරණය විසින් පනවනු ලැබූ නියෝගය වහාම ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට ද නියෝග කළාය.
එම නඩුව ඊයේ (15දා) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂ (නීති) අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය, ගරු මැතිනියනි, අපි මෙම සැකකාරියගේ වෘත්තීය ආචාර ධර්ම හා වෘත්තීය සදාචාරය ගැන කතා කරන්න උත්සාහ කරන්නේ නෑ. අපි විමර්ශන සිදුකරන්නේ එකී වෘත්තීය ආචාර ධර්ම දැඩිලෙස උල්ලංඝනය කරමින් අයථා ලෙස මුදල් උපයාගැනීම සඳහා සමහර රෝහල් සේවකයන් හා සිය හිතවතුන් යොදා ගනිමින් සිදුකළ දූෂණ ක්‍රියා ගැනයි. ඇය එම්.එල්.එම්. නමැති ආයතනයක් හරහා සිදුකළ වැඩි මිලට ශල්‍යකර්ම උපකරණ අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳව චාමර සම්පත් නමැති අය රෝහලට පැමිණිලි කිරීමෙන් පසුව එම සිද්ධිය සමථයකට පත්කිරීමට දෙදෙනකු මැදිහත් වෙලා තියෙනවා. එක් අයෙක් නීතිඥවරයෙක්. එකී ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වීම වැළැක්වීම සඳහා ඇය සිය හිතවතියක හා දෙවන සැකකරු මාර්ගයෙන් වෙනත් සමාගමක් ආරම්භ කරලා තියෙනවා. වෙනත් අයකුගේ නමින් එය පවත්වාගෙන ගියත් ශල්‍ය උපකරණ සඳහා ලැබෙන මුදල් ගිණුම්ගත කරලා තියෙන්නේ සැකකාරියගේ නමින්. එම මුදල් පරිපාලනය කිරීමේ බලය තියෙන්නේ මෙම සැකකාරියටයි.
පොකට් මනි දෙන්නම් කියලා එම සමාගම පවත්වාගෙන යන්න සහාය ලබාගත් කාන්තාවගෙන් ප්‍රශ්න කළාම මෙම සැකකාරිය ගැන කිසිවක් දන්නේ නෑ කියලා මුලින් ප්‍රකාශ දීලා තියෙනවා. නමුත් මෙම සැකකාරියව අත්අඩංගුවට ගත්තාට පසු එම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරද්දී තමන් මින් පෙර ඇයව නොදන්නා බව කීවේ ඇය එලෙස කියන්න කියලා තමන්ට ලබාදුන් උපදෙස් අනුවයි කියලා එම කාන්තාව දිවුරුම් ප්‍රකාශයක් දී තියෙනවා.
එම සිද්ධීන් සම්බන්දයෙන් සිදුකරන විමර්ශන සඳහා රෝහල් කාර්යමණ්ඩලය ඇතුළු කීපදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරන්න තියෙන නිසා තව දින කීපයක් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඇය ඇපමත මුදාහැරීමෙන් සාක්‍ෂිකරවැන්ට බලපෑම් වෙන්න පුළුවන්.
සැකකාර විශේෂඥ වෛiවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී කරුණු දක්වමින් අධිකරණයට මෙලෙස පැවැසීය.
ගරු මැතිනියනි, පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට බලපෑම් කරන්න මෙම සැකකාරියට හැකියාවක් නෑ. ඇය මේ වනවිට වැඩ තහනම් කරලයි තියෙන්නේ. විමර්ශන නිලධාරීන්ට කෙනෙක් ගෙන්වලා දිවුරුම් ප්‍රකාශ ලබාගන්න ඕන විදිහකට පුළුවන්. පැමිණිල්ල අද කීවත් ඇගේ වෘත්තීය ආචාරධර්ම ගැන කතා කරන්නේ කියලා පැමිණිල්ල හා විමර්ශන නිලධාරීන්ම තමයි ඇය මියගිය අයටත් ශල්‍යකර්ම සිදුකළා, සිදුකළ ශල්‍යකර්මවලින් සියයට හැත්තෑවක්ම මියගිහින් කියලා මෙම අධිකරණයට කීවේ. අදාළ ප්‍රකාශ සමහර මාධ්‍ය විකෘති ලෙස පළකරලා. සමාජ මාධ්‍ය සැකකාර වෛද්‍යවරියට එරෙහිව අයුතු මතයක් ගොඩනඟන්න උත්සාහ කරලා ජනතාවගේ මතය විකෘති කරන්න අල්ලස් කොමිෂන් සභාව පෝලිමේ මිනිස්සු අත්අඩංගුවට අරගෙන එනවා. එකී ක්‍රියාදාමය නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ගැන අප්‍රසාදයක් සමාජය තුළ ඇතිවෙලා. නඩු විභාගයේදී සාක්‍ෂි මගින් කියන්න ඕන දේවල් තමයි විමර්ශන නිලධාරීන් උසාවියට ඇවිත් දැන්ම කියලා මහජන මතය අවුස්සන්න හදන්නේ. අල්ලස් කොමිසම කියපු තරමින් කෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන නෑ. විමර්ශන නිලධාරීන්ගේ මනදොල සපුරන්න කෙනෙකු රිමාන්ඩ් කරන්න ඕන නෑ කියලා ඉහළ අධිකරණ මගින් ලබාදුන් තීන්දු අනුවම පෙන්නලා තියෙනවා. සැකකාරිය රිමාන්ඩ් කරන විට සමහර මාධ්‍ය අත්පුඩිගහනවා.
දෙවන හා තෙවන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා: මෙම නඩුකරයේදී අපක්‍ෂපාතීව කටයුතු කළ ප්‍රධාන මාධ්‍යයට මම ගරු කරනවා. සමාජ මාධ්‍ය තමා ඒකපාර්ශීය ලෙස වාර්තා කරලා ජනතාව නොමග යවන්න උත්සාහ කරන්නේ. සමාජ මාධ්‍යවලට බයේ අපි නඩු කියන්නේ නෑ. මේ විදියට ගියොත් ඔබතුමිය ලයිට් දාගෙන නඩු ඇහැව්වා කියලා අල්ලස් කොමිසම නඩුවක් දාන්න පුළුවන්.
අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය: අපි ගැලරිය සතුටු කරන්න බොරු සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ නෑ. පළමු සැකකාරිය වෙනුවෙන් පෙනී සිටින උගත් ජනාධිපති නීතිඥ මහත්තයා කරුණු දැක්වූයේ පැමිණිල්ල සැකකරුවකු ලෙස සලකගෙනයි. මොළේ මැරුණු ලෙඩ්ඩුන්ටත් ශල්‍යකර්ම කළා කියන එක බොරුවක් නෙමෙයි. තමන්ගේ පදිංචි ස්ථාන ලෙස සැකකාරිය ලබාදුන්න ලිපින දෙකේම ඇය පදිංචි නෑ. බොරු ලිපිනයන් දීලා තියෙන්නේ. ඒ බව ග්‍රාම නිලධාරිවරුන් පවා දන්වා තිබෙනවා. සැකකාරිය සාධාරණ අයෙක් නම් ඇය බොරු ලිපින දෙන්නේ?
මේක තවත් එක් හුදු නඩු කටයුත්තක් නෙමෙයි. රෝගීන්ගේ ජීවිත එක්ක කරපු සෙල්ලමක්. තමන්ගේ මඩිය තරකරගන්න කරපු ජාවාරමක්. තමන්ගේ කෙනෙක්ගේ ජීවිතය බේරාගන්න ඕන කෙනෙක් ඉඩකඩම් විකුණලා හරි වියදම් කරනවා. මේ සැකකාරිය ඒ මනුෂ්‍යකමෙන් තමයි අයුතු ප්‍රයෝජන අරගෙන තියෙන්නේ.
විමර්ශන භාරව සිටින පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත මහතාද එහිදී අධිකරණයට කරුණු දැක්වීය
දොස්තර මහේෂිට ජ'පුර රෝහලට ඇතුළු වීම තහනම්! ... රට ගමනුත් තහනම්! උසාවියෙන් නියෝගයක්
