පළාත් සභා ඡන්දේ තියන්න විදිහක් නෑ…..! – මැකො

පළාත් සභා ඡන්දේ තියන්න විදිහක් නෑ…..! – මැකො

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා මේ මොහොතේ රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.


තිබූ නීතිය අහෝසි කිරීමෙන් පසුව, ඒ වෙනුවට සකස් කරමින් තිබූ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.

ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව තිබෙන බව ද හෙතෙම පවසයි.


කොමසාරිස් ජෙනරාල්වරයා කියා සිටින්නේ, ව්‍යවස්ථාදායකයේ සිටින ජනතා නියෝජිතයන් ඊට අදාළ වන නීතිය කඩිනමින් ස්ථාපිත කර ගැනීමට අවංකවම උනන්දු විය යුතු බවයි.

2018 වසරේදී ඉදිරිපත් කරන ලද 50:50 මිශ්‍ර සමානුපාත ක්‍රමය තුළ සීමා නිර්ණය ද අනිවාර්ය අංගයක් විය. එහි කටයුතු අවසන් වී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු, විෂය භාර අමාත්‍යවරයා ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඊට එරෙහි විය.

ඉන් අනතුරුව එය නිරවුල් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගේ කමිටුවක් පත් කරන ලද අතර, ඉන් අනතුරුව හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළත් තවත් කමිටුවක් පත් කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එහි කටයුතු අඩාල විය.


මේ අනුව, මෙම නව නීතිය ස්ථාපිත කිරීම තව දුරටත් පමාවීම පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි සෘජුවම බලපා ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පෙන්වා දෙයි

Search