ඉදිරියේ පැවැත්වීමට යෝජිත පළාත් සභා මැතිවරණය නොපවත්වා පළාත් සභා මැතිවරණ ක්‍රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ලෙසට ආණ්ඩුවේ ඉහළ දේශපාලන අධිකාරියට ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.
මෙම පාර්ශ්වයේ ප්‍රධාන තර්කය වී තිබෙන්නේ පළාත් සභා විසුරුවා හැර වසර පහකට වැඩි කාලයක් මේ වනවිට ගත වුවද රටේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට එය බාධාවක් වී නොමැති බවය. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමේදී තම පක්ෂය දරන ලද ස්ථාවරය නිවැරදි බව මේ වනවිට ප්‍රායෝගිකව ජනතාවට අවබෝධ වී තිබෙන බවත්, ජනතා මුදල් අපතේ යවන ජාතික ධනයෙන් විශාල මුදලක් වෙන්වන පළාත් සභා සුදු අලියෙක් බව සනාථ කිරීමට මේ මොහොත වඩාත් ඵලදායීව යොදාගත හැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
පළාත් සභා මැතිවරණය ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ඇතුළත පවත්වන බව ජාතික ජන බලවේග ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් පොරොන්දු විය. නමුත් සීමා නිර්ණය කටයුතු අවසන් වී නොමැති වීමත්, මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ අවසන් තීන්දුවක් ගෙන නොතිබීමත් හේතුවෙන් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වනවිට වසරකට වැඩි කාලයක් ගතවී ඇත. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණය ඉදිරි වසරේ 2026 මුල් මාස හය ඇතුළත පැවැත්වීමට හැකි වෙතැයි විදේශ කටයුතු ඇමැති විජිත හේරත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසය පළ කළේය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා තිබුණේ ලබන වසර අවසානයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවය.
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලෙස දේශපාලන පක්ෂ රැසක් දැනටමත් ආණ්ඩුවෙන් ඉල්ලීම් කර ඇත. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉන්දියාව ඇතුළු බටහිර රටවල් රැසක්ද ආණ්ඩුවට මේ වනවිට දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ.
මෙරට ක්‍රියාත්මක වූ පළාත් සභා පසුගිය 2017ත් 2019ත් අතර කාලසීමාව තුළ විසුරුවා හැර තිබේ. රජය විසින් ගියවර අයවැයෙන් ඒ ඒ පළාත් සභා සඳහා වෙන්කරන ලද මුදල් සංවර්ධන කටයුතු සඳහා යොදවා නොමැති අතර, එම මුදල්වලින් වර්ෂ අවසානය ළඟාවන විට මේ මොහොත වනවිටත් වැය කර ඇත්තේ සියයට විස්සට අඩු ප්‍රතිශතයක් බව දිස්ත්‍රික් සංවර්ධන සභාවලදී සහ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඉන්දු-ලංකා ගිවිසුම අනුව 1987 වර්ෂයේ ගෙන එන ලද දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කර එමගින් සකසන ලද විධි විධාන යටතේ පළාත් සභා මෙරට පිහිටවනු ලැබීය