පළාත් පාලන මැතිවරණය පවත්වා මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් විවිධ හේතු මත පළාත් පාලන ආයතන පනහක පමණ බලය තවමත් පිහිටවීමට නොහැකි වී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය
මේ හේතුවෙන් එම සභාවලට තවමත් ජනතා සේවා කටයුතු ආරම්භ කිරීමට නොහැකිව පවතී. සභා රැස්වීම් සඳහා ඝන පූර්ණය නොමැති වීම ඇතැම් සභිකයින්ගේ නම් ගැසට් නොකිරීම සහ යම් යම් අධිකරණ නියෝග හේතුවෙන් එම සභා පිහිටුවීමට නොහැකිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. යම් සභාවක් රැස්වීමට මුලු සභිකයන්ගෙන් සීයට පනහක් සිටිය යුතු නමුත් සමහරුන් හිතාමතාම නොපැමිණීම හේතුවෙන් මෙම ඝන පූර්ණය පිළිබඳ ගැටලුව මතුවී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය පිළිබඳ ගැටලුවකට අදාළ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් එම සභාවේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇතැයි ඔහු පවසීය. කෙසේ වෙතත් ජනතාව සඳහා මෙම සභා හැකි ඉක්මනින් පිහිටුවා ගැනීම අපේක්ෂා බව ඔහු කීය