"විස්සට විරුද්ධ වීම පමණක් නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට ප්‍රමාණවත් නැහැ"- හරිනි අමරසූරිය

 

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධ වීම පමණක් නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමට

ප්‍රමාණවත් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24)දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී "20 කාගේ ද? කාට ද?" මැයෙන් පැවැත්වුණු සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි.


 

මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා, සම්මන්ත්‍රණය පාර්ලිමේන්තුව ඇතුළෙත්, පිටත් සංවාදගත වන මොහොතක විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු තාක්‍ෂණික කරුණුවලට වඩා මතවාදීව මේක තේරුම් ගන්නේ කොහොමද කියන සාකච්ඡාවට වාමාංශික සංවිධාන විදියට අපි මැදිහත් විය යුතු ආකාරය ගැන මතවාදී අදහස් කීපයක් සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි

විසිවැනි සංශෝධනයේ ඇතුළත් වගන්ති පිළිබඳ කරුණු ගැන ඕනෑ තරම් සාකච්ඡා වෙනවා. නමුත්, වාමාංශික ව්‍යාපාරයක් විදියට අපි මේක දිහා බලන්නේ වෙනස් විදියකට. මේ ගැන කතා කරන කොට අපිට ඉතිහාසය ගැනත් බලන්න වෙනවා. 1978 හඳුන්වා දුන් මේ ව්‍යවස්ථාව විසි වතාවක් මේ වෙන කොට සංශෝධනය වෙලා තියෙනවා. මේ තරම් සංශෝධන අඩංගු ව්‍යවස්ථාවක් මොකටද කියන එකත් ප්‍රශ්නයක්. අපි කාලයක් තිස්සේ කියන්නේ, සංශෝධන වෙනුවට බරපතළ අර්බුද තිබෙන මේ ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. ආණ්ඩුවත් කියන්නේ, විස්ස තාවකාලිකව ගෙනැවිත් අලුත් ව්‍යවස්ථාවක් ගේන බවයි. එහෙම නම්, තාවකාලික සංශෝධනයක් මොකටද අවශ්‍ය කියලා අහන්න වෙනවා.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1978 මේ ව්‍යවස්ථාව අපට ඉදිරිපත් කරන්නේ මොන අරමුණකින්ද? මේ ව්‍යවස්ථාව ගෙන ඒමේ ප්‍රධාන අරමුණ අලුත් ආර්ථික මොඞ්ල් එකක් රටට හඳුන්වා දීම සඳහා ඒ මොඞ්ල් එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. 1978 ව්‍යවස්ථාව ගැන සාකච්ඡාව එනකොටම එයට ප්‍රතිවිරුද්ධව විශාල මතවාදයක් ගොඩනැඟුණා. විවිධ සමාජ කණ්ඩායම්, දේශපාලන ව්‍යාපාර විරෝධය පළකළා. ව්‍යවස්ථාව ගෙනාවේ ඒ විරෝධතා මර්දනය කරමින්. ඒක බොහෝ දෙනකුට අමතකයි. ඒකාධිපති, මර්දන ස්වරූපයෙන් ගිය ඒකාධිපති මර්දන ක්‍රමයත් මේ ව්‍යවස්ථාව ආපු දවසේ ඉඳන් පාවිච්චි කළා. මිනිසුන්ගේ අයිතිවාසිකම් සහ දේශපාලනිකව සංවිධානයවීම ඇතුළුව සක්‍රීයවීමට තිබූ අවකාශය මර්දනය කරන්න ව්‍යවස්ථාව පාවිච්චි කළා. ගෙවී ගිය කාලය තුළ අපිට පැහැදිලි වන එක කාරණයක් නම්, කිසිම දේශපාලන නායකයකුට මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇත්ත වුවමනාවක් තිබුණේ නැහැ. යම්තාක් දුරකට ඒ මර්දනකාරී ලක්‍ෂණ අවම කරන්න හැකි වුණේ, ආණ්ඩු බලය දුර්වලවූ මොහොතවල පමණයි. ඒ අනුව 17වැනි සංශෝධනය සහ 19වැනි සංශෝධනය කියන දෙකම ආවේ බලයේ සිටි ආණ්ඩු දුර්වල වූ මොහොතක. ඒ වාගේම සන්ධානගත වූ දේශපාලන තත්ත්වයක් තුළ. ජනතාවාදී පැත්තට හරවා ගත්ත අවස්ථා තියෙන්නේ, මේ දෙක විතරයි.

images 2

ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ පුළුල් කරන්න මිසක් හකුළා ගන්න නෙවෙයි

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය තියෙන මොහොතක ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ තාර්කික පදනම විය යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ පුළුල් කරන්න මිසක් හකුළා ගන්න නෙවෙයි. මෙච්චර බලයක් තියෙන රජයක් මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඉතිරිවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් ආපසු හරවා 1978ටත් එහා ගිය ඒකාධිපති ස්වරූපයක් දරන්නයි. මේ මොහොතේ අපි ඉන්න සමාජ-ආර්ථික ක්‍රමය තුළ නව ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමයේ අර්බුදය තියුණුවී තිබෙන කාලයේ මේ නායකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ. මේ සිස්ටම් එක පවත්වාගෙන යාමට නම්, අදේශපාලනික, තමන්ගේ අවශ්‍යතාවලට සංවිධානය නොවූ ජනතාවක් ඒ ගොල්ලන්ට අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගන්න සංවිධානය වූ ජනතාවක් එක්ක ඒ ගොල්ලන්ගේ ගමන යන්න බැහැ. වාම ව්‍යාපාරයක් හැටියට අපි කොහොමද මේක දිහා බලන්නේ? සමාජවාදය තුළ පවා අපිට ඉබේම ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි සංවිධානය විය යුත්තේ කොහොමද කියන එකත් නිර්වචනය කර ගැනීම අවශ්‍යයි.

සාර්ථක වාම දේශපාලන ව්‍යාපාරයක මූලිකවම විය යුත්තේ, ජනතාවට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් හැකි තරම් පුළුල් කිරීම. ඒ සඳහා ව්‍යුහයන් ශක්තිමත් කිරීම. තමන් පිළිබඳව තීරණ ගැනීමට ජනතාවට තිබෙන අවස්ථා පුළුල් කිරීම. වාම දේශපාලනය කියන්නේ, ජනතාව මත විශ්වාසය තබා ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපාරයක්. ජනතාව සූරාකෑම කරන දේශපාලන ව්‍යාපාරයක් කරන්නේ ජනතාව තර්ජනයක් හැටියට දැකීමයි. සූරාකෑම සහ කොල්ලකෑම සිදු කරන්නේ මේ ස්ථාවරයේ ඉඳලයි. ඒ වාගේම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් විවිධත්වය ආරක්‍ෂා කර ගන්නත් පුළුවන්.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් මෙය අර්ථකථනය කරන්නේ, බහුතර කැමැත්ත කියලයි. ඒ කියන බහුතරය හරිද, වැරැදිද, ඔවුන් සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවාද, අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්නවාද කියන දේවල් අදාළ නැහැ. බහුතරය කැමැති නම්, ඒ බලය තියෙන කෙනා සියලු දෙනාම වෙනුවෙන් තීරණ ගන්නවා. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඊට වඩා පුළුල් විදියට බලන්න ඕනෑ. සමාජයක් තුළ කොහොමද විවිධ ජන කොටස් සම්බන්ධ කරගෙන තීරණ ගන්නේ කියලා සංවාද සහ සාකච්ඡා හරහා සම්මුතීන්වලට එන්න පුළුවන් ක්‍රමවේදය සොයා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය කියලා ගන්න පුළුවන්. ඒ හැර නිකම්ම නිකම් බහුතරයේ කැමැත්ත හැටියට විතරක් නොවෙයි. ජනතාවාදී පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න අවස්ථාව ලැබෙන්නේ මේ විදියටයි. කොල්ලකෑම හා සූරාකෑම පවතින ආර්ථික ක්‍රමවේදයක් තුළ අදාළ ක්‍රියාවලිය ඔවුන්ට වැදගත් නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ප්‍රතිඵලය පමණයි. කොල්ලකෑම, සූරාකෑම සහ මර්දනය කිරීම ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. ඔවුන්ගේ ඉලක්ක ජය ගන්නයි.

environmentalist 640 71122140CB0447258789FE31CE31FD6C

විරුද්ධ වන්නේ කවුද ඔවුන් ත්‍රස්තවාදීන්

ඔවුන්ගේ මේ ක්‍රියාවලියට ප්‍රජාතන්ත්‍රවාදය බාධාවක් විදියට සලකලා එය මෙල්ල කර ගන්නේ කොහොමද කියලා සියලු උපක්‍රම යොදනවා. උදාහරණයක් විදියට යම් ව්‍යාපෘතියකට පරිසරවේදීන් විරුද්ධ වෙනවා නම්, ඉතාමත්ම ඉක්මනින් ඔවුන් ත්‍රස්තවාදීන් හැටියට නම් කරනවා. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙලා ක්‍රියා කරනවා නම්, කඩාකප්පල්කාරීන් හැටියට හඳුන්වලා වෘත්තීය සමිති මර්දනය කරනවා. ශිෂ්‍ය ව්‍යාපාරය හැටියට අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වෙනවා නම්, බදු මුදල් නාස්ති කරන වැඩක් නැති පිරිසක් හැටියට නම් කර මර්දනය කරනවා. ස්ත්‍රී අයිතිවාසිකම් රැකගන්න සංවිධානය වුණොත්, පවුල් කඩාකප්පල් කරන සංස්කෘතිය විනාශ කරන අය හැටියට ලේබල් ගහනවා. අභියෝග භාර ගන්නවා වෙනුවට විවිධ ලේබල් ගහලා, මර්දනය දියත් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර පුළුල් කරන්න නම්, ජනතාව සංවිධානය වීම ශක්තියක් ලෙස දකින, දේශපාලන සවිඥානික ජනතාව ආශීර්වාදයක් ලෙස දකින දේශපාලන ව්‍යාපාරවලට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම ආරක්‍ෂා කරන්න පුළුවන්.

මෙතෙක් කල් අපව පාලනය කළේ ජනතාව මත විශ්වාසය තැබූ පාලකයන් නොවෙයි. තමන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඉත්තන් හැටියට ජනතාව යොදා ගත්තා. බලයට ආ පසු ජනතාව අදාළ වෙන්නේම නැහැ. ඒ ගොල්ලන්ට මෙහෙයවා ගන්න බැරි නම්, කිසිසේත්ම ජනතාව අදාළ වෙන්නේ නැහැ. මිනිස්සුන්ට, පරිසරයට, මේ මුළු ලෝකයට ආදරයක් තියෙන මිනිස්සුන්ට විතරයි ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න පුළුවන්. අවසානයේ දී විවිධත්වය අගය කරන ව්‍යාපාරවලට විතරයි, ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න පුළුවන්. නමුත්, විසිවැනි සංශෝධනය ගැන මේ වෙලාවේ විවිධ කතා අපිට අහන්න ලැබෙනවා. ඒ ගොල්ලන්ට බලය ලැබුණේ, දහනවය අහෝසි කරන්න බව කියනවා. ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරන්න දහනවය නිසා බෑ කියලා කියනවා. විධායකය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය එකම පවුලක් තුළ තිබෙන මොහොතක දහනවයෙන් ඒ ගොල්ලන්ට තියෙන බාධාව මොකක් ද? ඒ ගොල්ලන්ට මේ නිසා කරන්න බැරි දේ මොකක් ද?

බලය එකතු කරගෙන ජනතාව සූරාකෑමට සහ කොල්ලකෑමට

මේ එන්නේ තමන්ගේ අතට තව දුරටත් බලය එකතු කරගෙන ජනතාව සූරාකෑමට සහ කොල්ලකෑමට කියන එක බවට අපිට කිසිම සැකයක් නැහැ. මෙතැන ප්‍රශ්නය තියෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න විවිධ පාර්ශ්වයන් ඇත්තටම ජනතාවගේ පැත්තෙන් හිටගෙන, ජනතාවට ගරු කරමින් අවංකව පෙනී ඉන්නවා ද? එහෙම නැත් නම්, ජනතාව පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පෙනී ඉන්න අයද කියලා වෙන්ව හඳුනා ගන්න ඕනෑ. සමහර අය කියන්නේ, ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න නියෝජිතයන් හැටියට පත් කරලා, පැත්තකට වෙලා බලා ඉන්න කියලයි. එය නියම ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. අමු අමුවේ ඒකාධිපතිත්වයෙන් පෙනී සිටින කොල්ලකෑම වෙනුවට ඊට වඩා ටිකක් මහත්මා ගතියකින් යන ව්‍යාපාර තමයි මේ. ඔවුන් ජනතාවාදීවත්, ප්‍රජාතන්ත්‍රවාදීවත් නොවෙයි. විවිධ පාර්ශ්ව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන වෙලාවේ අපි හිට ගන්න ඕනෑ මොන විදියේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් ගැන ද කියන එක පැහැදිලි කර ගන්න එක අත්‍යවශ්‍යයි.

poi

අපි මැදිහත් විය යුත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නියෝජිතයන්ට පැටවීමට පමණක් නොවෙයි. ජනතාව තමන් පිළිබඳව ගන්න තීරණවල දී මීට වඩා සහභාගී වීමේ ව්‍යුහයන් ශක්තිමත් කිරීමට හා දේශපාලනිකව සංවිධානය වීමට අදාළ අවකාශය ජනතාව විසින් පුළුල් කර ගැනීම ගැන කල්පනා කළ යුතුයි. එය හුදෙක්ම ව්‍යවස්ථාව පිළිබඳ කතාවකට ලඝු නොකර දීර්ඝ සහ ගැඹුරෙන් ගත යුතු සංකීර්ණ ක්‍රියාවලියක් කියන එක මතක තබා ගත යුතුයි. ඒ අර්ථයෙන් ගත්තාම ඉදිරිපත් කර තිබෙන විසිවැනි සංශෝධනයට එරෙහි වීම අප ගෙන යන එක ක්‍රියාවලියක් පමණයි. අපිව මර්දනය කරන්න, අපිව පාවිච්චි කරන්න ව්‍යවස්ථාව යොදා ගන්නේ මොන විදියටද කියන එක තේරුම් ගන්න අවශ්‍යයි. විස්ස සම්බන්ධයෙන් අපි කතා කළ යුත්තේ ඒ අර්ථයෙන්. මේ නිසා විස්සට විරුද්ධ වීම පමණක් නියම ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට ප්‍රමාණවත් නැහැ. ජනතාව සංවිධානය කරමින්, දේශපාලනිකව සවිඥාන කරමින් පැමිණීමට නියමිත මර්දනයට මුහුණ දීමට විස්ස ආවත්, නැතත් දිගටම ක්‍රියා කරන්න සිදු වෙනවා. වාම ව්‍යාපාරයක් හැටියට මේ දෘෂ්ටිකෝණයෙන් මැදිහත් වීම හැර ඊට වඩා කෙටි ගමනක් අපට නැහැ.

Search