වසර 2ක් පොරොන්දු කඩ කළ රජය උපාධිධාරීන් රැවැට්ටුවා" - සජිත්

වසර 2ක් පොරොන්දු කඩ කළ රජය උපාධිධාරීන් රැවැට්ටුවා" - සජිත්

වත්මන් රජය අයවැය දෙකක් තුළදී රැකියා විරහිත උපාධිධාරීන්ට ලබා දුන් රැකියා පොරොන්දු කඩ කිරීමෙන් ඔවුන් මානසික කෲරත්වයකට ලක් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (08) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා.

ඊයේ (07) අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ජනාධිපතිවරණයට පෙර රැකියා විරහිත උපාධිධාරීන් 35,000කට රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත්, එය 'පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වන පිටුවේ පැහැදිලිව සඳහන් කර තිබූ බවයි.

උපාධිධාරීන් 20,000කට ගුරු වෘත්තියත්, විද්‍යා, ගණිත, තාක්ෂණ, ඉංජිනේරු උපාධිධාරීන් 3,000කට අදාළ ක්ෂේත්‍රවල රැකියා මෙන්ම, ක්ෂේත්‍රවලට අයත් නොවන 9,000කට තොරතුරු තාක්ෂණ, රේගු, විදේශ සේවා ආදී රැකියා 3,000ක් ලෙසට පොරොන්දු වී තිබූ බවත්, මෙම පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අයවැය දෙකකදී කඩකර අමතක කර ඇති බවටයි විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රශ්න කළේ, මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයිද යන්නයි.

"ජනාධිපතිවරණයෙන් පසුව, මහමැතිවරණයේදී පවා රැකියා දෙන බවටත්, ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවටත් පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදී සියලු සාක්ෂි අප සතුව තිබෙනවා." යනුවෙන් ඔහු එහිදී සඳහන් කළා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සිදු කරන්නේ රැකියා විරහිත උපාධිධාරීන් මානසික කෲරත්වයට ලක් කිරීමක් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එවැනි ම්ලේච්ඡ දෙයක් නොකර ඔවුන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.



ඔවුන් වෙනුවෙන් විපක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙනවා. අමතර ප්‍රතිපාදන එකතු කිරීමට අවශ්‍ය නම් පරිපූරක ඇස්තමේන්තුවලට පවා සහාය ලබා දෙනවා. දැන්වත් මේ අයට රැකියා ලබා දී, මේ හිස් අයවැයට ශක්තියක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙන් ඔහු අවධාරණය කළා.

දැන්වත් බොරුවෙන්, රැවටිල්ලෙන් සහ ඇන්දවිල්ලෙන් රට පාලනය නොකරන ලෙසත්, මැතිවරණ තුනක් පුරාවට ලබා දුන් මේ පොරොන්දුව ඉටුකර උපාධිධාරීන්ගේ අභිලාෂ ඉටුකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කරනු ලැබුවා.

Search