සෞම්‍ය ! ඔබ 'අබා' චිත්‍රපටයට ඇඳ සිටියේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇඳගෙන යාමට උචිත ම ඇඳුම ය

"ලංකාවේ සරසවි සංස්කෘතියේ පරිපාලනය තුළ පවත්නා ගුරුකුල නඩත්තුව සහ ළිංමැඩි කල්ලිවාදය පිළිබඳ අවබෝධයෙන් සිටින සබුද්ධික ප්‍රජාවට මෙතැන සිදුවන්නේ 'යොන් මැරිල්ලක්'දැයි දැනගැනීමට නම් , ඉහත කී අනෙක් විදෙස් ආචාර්ය උපාධිලාභී කථිකාචාර්යවරුන්ගේ අනාගත ඉරණම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීමට හැකි ය."

 

මහාචාර්ය සෞම්‍ය ලියනගේ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඔහු දැරූ පීඨාධිපති, මහාචාර්ය ආදී තනතුරු වලින් ඉවත් කර ඇත. හේතුව ලෙස විශ්ව විද්‍යාල පාලක සභාව ගෙනහැර දක්වන්නේ, ඔහු ආධුනික කථිකාචාර්යවරයෙකු ලෙස පත් කිරීමෙන් පසු සපුරාලිය යුතු පශ්චාත් උපාධි සුදුසුකම නියමිත වසර 8 ක කාලය තුළ දී සිදු කර නොමැති වීම ය.

සෞම්‍ය ලියනගේ විසින් අදාල සුදුසුකම සම්පූර්ණ කර ඇතත් හදිසියේ නින්දෙන් අවදි වූ විශ්ව විද්‍යාල පාලක සභාවට අනුව එම පශ්චාත් උපාධි දිනය වශයෙන් ඔවුන් භාරගන්නා දිනය වසර අටක සීමා කාලය ඉක්මවා යන්නකි. පශ්චාත් උපාධියක් සඳහා ඉදිරිපත් කරන නිබන්ධනය 'සංශෝධන රහිතව සමත්' (Pass with no correction) හෝ 'සුළු සංශෝධන සහිතව සමත්' (Pass with minor corrections) ලෙස අනුමත / සමත් වේ නම් අදාල පශ්චාත් උපාධියේ දිනය ලෙස එම ප්‍රතිඵල ලද දිනය යොදා ගැනීම මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සාමාන්‍ය භාවිතයකි. බොහෝ විශ්ව විද්‍යාලවල ප්‍රතිඵල නිකුත් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවය අතර කාලපරතරයක් පවතින බව ද අමුතුවෙන් පැවසිය යුතු නැත.

සෞම්‍ය ලියනගේ විසින් පශ්චාත් උපාධියේ නිබන්ධනය සමත් වූ දිනය පෙර කී වසර අටක කාල සීමාව තුළ පවතින අතර, එම උපාධිය ප්‍රදානය සිදු කළ දිනය අදාල වසර අටක සීමාව ඉක්මවා යන බව දැනගන්නට ඇත. වඩාත් වැදගත් ම කරුණ වන්නේ විශ්ව විද්‍යාල පාලක සභාව මෙයට පෙර සෞම්‍ය ලියනගේ සම්බන්ධ සියලුම සුදුසුකම් ඇගයීම්වල දී පශ්චාත් උපාධි දිනය ලෙස භාරගෙන තිබුණේ ඔහු පශ්චාත් උපාධි නිබන්ධනය සමත් වූ දිනය ය. සෞම්‍ය ලියනගේ ආධුනික කථිකාචාර්ය ධූරයේ සිට කථිකාචාර්ය ධූරයට සේවා ස්ථිර වන්නේ එබැවිනි. අනතුරුව ඔහුට ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තනතුර, මහාචාර්ය තනතුර ද පීඨාධිපති ලෙස පත්වීම ද ලබා දෙන විට විශ්ව විද්‍යාල පාලක සභාව විසින් ඔහුගේ පශ්චාත් උපාධි සුදුසුකම පිළිගෙන තිබූ අතර හදිසියේ ම එය නුසුදුසු වන්නට හේතුව මන්දැයි විමසා බැලීම ද වටී.

2019 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ 'නියෝජ්‍ය උප කුලපති' ධූරයට (Deputy Vice Chancellor) අයැදුම් කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ මහාචාර්ය සෞම්‍ය ලියනගේ අතරින් සම්මුඛ පරීක්ෂණ අවසානයේ දී වැඩි ලකුණු ලබා තිබුණේ සෞම්‍ය ලියනගේ ය. අද සෞම්‍ය සුදුසුකම් සපුරා නැතැයි කියන මේ විශ්ව විද්‍යාල පාලක සභාව මගින් ම 'නියෝජ්‍ය උප කුලපති ධූරය' සඳහා මහාචාර්ය සෞම්‍ය ලියනගේ නිර්දේශ කර විශ්වවිද්‍යාල කොමිෂන් සභා අනුමැතියට යවා තිබිය දී හදිසියේ ම එවකට උප කුලපති ව (Vice Chancellor) සිටි ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව එවකට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකින් තනතුරෙන් නෙරපා හරින ලදි. 2019 සැප්තැම්බර් 18 දිනය යෙදූ ජනපතිගේ ලිපියක් මගින් තනතුරෙන් ඉවත් කිරීමේ දැනුම් දීම හැරෙන්නට කිසිදු හේතුවක් දක්වා නොතිබිණ. ඉන් පසුව මහාචාර්ය සෞම්‍ය ලියනගේ 'නියෝජ්‍ය උප කුලපති' ලෙස පත්කිරීමේ ක්‍රියාවලිය අත් හිටුවන ලද්දේ එය තවදුරටත් නියෝජ්‍ය උප කුලපති තනතුරේ නොමැති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීවගේ කාලයේ සිදු කළ පත්වීමක් යන පදනම ය.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ උප කුලපති ධූරය (Vice Chancellor) සඳහා 2020 වසරේ දී අයැදුම්පත් කැඳ වූ අතර එහි අවසාන දිනය ලෙස 2020 ජූලි 24 දිනය සඳහන් කර තිබිණ. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ද ඒ සඳහා අයැදුම් කර තිබූ අතර අයැදුම්කරුවන් 8 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරාගන්නා දෙවැනි වටයට ද තේරී පත් විය. මහාචාර්ය සෞම්‍ය ලියනගේ ට එරෙහිව චෝදනා සහ විමර්ශන ඇරඹෙන්නේ ඔහු 2019 වසරේ 'නියෝජ්‍ය උපකුලපති ධූරය' සම්බන්ධ සිදුවීමෙන් පාඩමක් ඉගෙන නොගෙන 2020 වසරේ දී 'උප කුලපති ධූරය' ද අයැදුම් කරන්නට තීරණය කළ දා සිට ය.

සෞම්‍ය ලියනගේ මෙල්බර්න් හි La Trobe සරසවියෙන් තම ආචාර්ය උපාධිය හැදෑරු අතර 2011 වසරේ දී The Australian Association for Theatre, Drama and Performance Studies (ADSA) මගින් හොඳම නිබන්ධනයට හිමි ත්‍යාගය පිරිනැමුණේ සෞම්‍ය ලියනගේ සම්පාදනය කළ My body taught me how to act: Towards an epistemology of actor learning and apprenticeship නම් නිබන්ධනයට ය.

මෙරට සරසවි සංස්කෘතිය තුළ, ආචාර්යවරුන් විදේශ විශ්ව විද්‍යාල මගින් හිමි කරගන්නා ආචාර්ය උපාධි සම්බන්ධව පසුගාමී කියවීමක් පවතින බව තවදුරටත් නොරහසකි. කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඇත්තේ ද ලංකාව තුළ ය. සෞම්‍ය ලියනගේ සේවය කළ නර්තන හා නාට්‍ය කලා පීඨය තුළ ම ඔහුට අමතරව ආචාර්ය තරංග දන්දෙණිය , ආචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ සහ ආචාර්ය අනසුයා සුබසිංහ යනුවෙන් විදෙස් ආචාර්ය උපාධිලාභීන් (ඔස්ට්‍රේලියා) තිදෙනෙක් ම වේ. ලංකාවේ සරසවි සංස්කෘතියේ පරිපාලනය තුළ පවත්නා ගුරුකුල නඩත්තුව සහ ළිංමැඩි කල්ලිවාදය පිළිබඳ අවබෝධයෙන් සිටින සබුද්ධික ප්‍රජාවට මෙතැන සිදුවන්නේ 'යොන් මැරිල්ලක්'දැයි දැනගැනීමට නම් , ඉහත කී අනෙක් විදෙස් ආචාර්ය උපාධිලාභී කථිකාචාර්යවරුන්ගේ අනාගත ඉරණම දෙස සුපරික්ෂාකාරීව බලා සිටීමට හැකි ය.

සෞම්‍ය ! ඔබ 'අබා' චිත්‍රපටයට ඇඳ සිටියේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇඳගෙන යාමට උචිත ම ඇඳුම ය.

- සහන් කසීර වික්‍රමසිංහගේ ෆේස්බුක් ගිණුමෙන් උපුටා ගත්තකි

Search