ගල් අඟුරු ආනයනය හා ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (14) පෙනී සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , 2009 වසරේ සිට මෙතෙක් සිදුවූ ගල් අඟුරු ගනුදෙනුවලදී සිදුව ඇති බව කියන මූල්‍ය දූෂණ සහ පරිපාලනමය අක්‍රමිකතා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ , කාලයක් තිස්සේ විවිධ විමර්ශන සිදු කළද ඒවායේ වාර්තා නිකුත් නොවීම හෝ නිර්දේශ ක්‍රියාත්මක නොවීම පිළිබඳව කොමිසම දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
කොමිසම හමුවේ කරුණු දක්වමින් ඔහු මුලින්ම පෙන්වා දුන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන් මෙම කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව ගැටලුවක් මතුව ඇති බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/C වගන්තියට අනුව කොමිසම ස්වාධීනව ක්‍රියා කරන ආකාරය පැහැදිලි කළ යුතු බව ඔහු සඳහන් කළේය.
මෑතකදී ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් Potencia (අතිරේක තොග), Trident Chemphar (දිගුකාලීන) සහ Taranjot Resources (කෙටිකාලීන) යන සමාගම් තෝරාගැනීමේ නිත්‍යානුකූලභාවය පරීක්ෂා කරන ලෙසද ඔහු කොමිසමෙන් ඉල්ලා සිටියේය.
බාල ප්‍රමිතියේ ගල් අඟුරු ලබාදීම නිසා 2025 දෙසැම්බර් සිට 2026 දෙසැම්බර් දක්වා සිදුවූ බලශක්ති හානිය, ඒ වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතා කිරීමෙන් සිදුවූ මූල්‍ය පාඩුව සහ බලාගාරයේ යන්ත්‍රවලට සිදුවූ හානිය පිළිබඳ විමර්ශනයක් ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.
එසේම ඒ මහතා 2009 වසරේ සිට සිදුවූ පහත සඳහන් සියලු සිදුවීම් විමර්ශනය කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටියේය.
2009 ප්‍රථම ප්‍රසම්පාදනය: මුල්ම ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ ගණනය කිරීමේ වැරදි (ආලාපාළු ආර්ථිකය) සහ වගකිවයුත්තන් හඳුනා ගැනීම.
2012 හොර ගල් අඟුරු: බලශක්ති අමාත්‍යාංශයට පවා නොදන්වා මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු තොගවල නීත්‍යානුකූලභාවය සහ ඉන් සිදුවූ මූල්‍ය පාඩුව.
2015/16 සැපයුම්කරුවන් තෝරාගැනීම: එම කාලසීමාවේ සැපයුම්කරුවන් තෝරාගැනීමේ නීත්‍යානුකූලභාවය සහ මූල්‍ය පාරදෘශ්‍යභාවය.
2026 විදුලි ගාස්තු: ගල් අඟුරු ප්‍රමිතිය බාලවීම නිසා සිදුවූ පාඩුව විදුලි ගාස්තු සංශෝධනයට ඇතුළත් නොවීමෙන් ඒවා අය කරගත් ආකාරය.
තවද මීට පෙර විවිධ ආයතන මගින් සිදු කළ පහත විමර්ශනවල වර්තමාන තත්ත්වය සොයා බලන ලෙස ඒ මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.
2011-16 කාලය පිළිබඳ විගණකාධිපතිවරයාගේ පූර්ණ වාර්තාව.
2005-16 රාජ්‍ය අංශයේ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ විදුලිබල ක්ෂේත්රයට අදාළ වාර්තාව.
2015 ගල් අඟුරු ප්‍රසම්පාදනය ගැන අල්ලස් කොමිසම කළ විමර්ශනය.
2012 ගල් අඟුරු ගෙන්වීම ගැන පොලීසිය කළ විමර්ශනය.
2016-24 කාලය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වාර්තා.
ලංකා විදුලි බල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්මට අනුව ගල් අඟුරු බලාගාර මගින් ස්ථාවර බල සැපයුමක් (Firm Energy) ලබාදීමට තිබුණද, එය ක්‍රියාත්මක නොවීමට මැදිහත් වූ බාහිර දේශපාලන බලවේග කවුදැයි හඳුනා ගන්නා ලෙසද ඔහු පැවසීය.
එමෙන්ම 1991 සිට 2011 දක්වා ගල් අඟුරු බලාගාරයක් නොමැති වීම නිසා මිල අධික ඉන්ධන භාවිතා කිරීමෙන් සිදුවූ පාරිසරික හා මූල්‍ය හානිය ද ගණනය කළ යුතු බව රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තමන් ඉදිරිපත් කළ මෙම කරුණු පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිගමන ඉදිරිපත් කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටි ඔහු, ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.