ගාසා තීරය සඳහා කඩිනම් හා ස්ථිරසාර සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් මුදාහරින ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කළ විසඳුම් කෙටුම්පත හයවැනි වරටත් නිෂේධ බලය යොදාගනිමින් පරාජය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පියවර ගෙන තිබේ. ඇමෙරිකාව විසින් අදාළ විසඳුම් කෙටුම්පත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මැදපෙරදිග සම්බන්ධ ඇමෙරිකානු නියෝජ්‍ය විශේෂ නියෝජිත මෝගන් ඔටේගස් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති ගාසා විසඳුම් කෙටුම්පත හමාස් සංවිධානය හෙළා දැකීමට හෝ ඊශ්‍රායලයට ස්වයං ආරක්ෂාව සලසා ගැනීමට ඇති අයිතිය පිළිගැනීමට අපොහොසත් වී ඇති බවයි.
ගාසා තීරයේ මානුෂීය තත්ත්වය ව්‍යසනයක් ලෙස හඳුන්වමින් හා ඊශ්‍රායලයට පනවා ඇති ආධාර බෙදා හැරීමේ සීමාවන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති අදාළ විසඳුම් කෙටුම්පත සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 14 දෙනාම පක්ෂව ඡන්දය භාවිත කර තිබේ. ගාසා තීරය සඳහා අදාළ විසඳුම් කෙටුම්පත ඉදිරිපත් වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කෙරෙන යුද මෙහෙයුම් පුළුල් කිරීමත් සමගම ගාසා නගරයේ සිවිල් වැසියන්ගේ ජීවනාලිය බිඳ වැටෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය විසින් නිවේදනය කිරීමෙන් අනතුරුවය. මේ අතර අදාළ කෙටුම්පත පරාජයට පත් වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් විසින් සිය බලාපොරොත්තු සුන්වීම ප්‍රදර්ශනය කරමින් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.