වත්මන් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින්, ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි
.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) දෙරණ 360 සජිවී සංවාදය සමග එක්වෙමිනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 29 යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මෙය පාර්ලිමේන්තුව හමුවේ මතු කළ බවත්, කථානායකවරයාට එරෙහිව BC/0356/20/26 B 206 යන ගොනු අංකය යටතේ දැනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
නව දූෂණ විරෝධී පනතේ 107 (2) වගන්තියට අනුව යම් රජයේ සේවකයෙකු හෝ පොදු අධිකාරියක් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති වන යම් කටයුත්තකට හෝ තීරණයකට සහභාගී වීම හෝ ඡන්දය දීම නොකළ යුතු බව ද දයාසිරි ජයසේකර මහතා මහතා පෙන්වා දෙයි.
එමෙන්ම එවැනි බලපෑමක් සිදු කිරීම රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7ක බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමකට යටත් විය හැකි වරදක් වන බව ද මෙහිදී ඔහු අවධාරණය කළේය.
එසේ තිබියදී, තමාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකවරයා කටයුතු කිරීම නීතිවිරෝධී වන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම තුළින් 'බැඳියාවන් පිළිබඳ ගැටුමක්' නිර්මාණය වන බවත් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තවද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අදාළව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තියට අනුව ඊට අවසන් අත්සන තැබීමට සිදු වන්නේ ද කථානායකවරයාට බැවින්, පවතින නීතිමය තත්ත්වය හමුවේ ඔහුට එම ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා,
''ඔව්, ඇත්තටම මම මූලික වශයෙන් කිව්වොත්, මම මේක යොමු කළේ සාමාන්‍යයෙන් අපේ ස්ථාවර නියෝග 29 යටතේ. ස්ථාවර නියෝග 29 තිබෙන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් කියන කාරණය මත.එතනදී මම මූලික වශයෙන් ගත්තේ, දැනට අපේ ගරු කථානායකතුමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ BC/0356/20/26 B 206 කියන ගොනු අංකය යටතේ විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා කියන එක. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 162 වගන්තිය මම මතු කළා. ඒ 162 වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය සේවකයන්ට - එනම් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වන ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරයෙකු, කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, කාරක සභාවක සභාපතිවරයා ඇතුළු සියලු දෙනාම මේකට අයත් වෙනවා. එතකොට ඒ අනුව එතුමා මේ විමර්ශනයේ එක් පැත්තකින් විමර්ශනයට භාජනය වන පුද්ගලයෙක්. ඊළඟ කාරණය තමයි, 3, 4 වගන්ති යටතේ මේ බලතල ක්‍රියාත්මක කිරීමේදී, නීතිය යටතේ හිමිකම් ලැබූ අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් හැර වෙනත් කිසිම කෙනෙකුට අල්ලස් හෝ දූෂණ පනත යටතේ සිදුවන මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න බෑ. වැදගත්ම කාරණය තමයි 107 වන වගන්තිය. රජයේ සේවකයෙකු හෝ පොදු අධිකාරියක් විසින් ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති අවස්ථාවකදී, ඒ රජයේ සේවකයා විසින් ඒ තීරණයට අදාළ පොදු අධිකාරියේ යම් කටයුත්තකදී ඡන්දය දීම හෝ කටයුත්ත සඳහා සහභාගී වීම නොකළ යුතුයි. 107 (2) වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා, විමර්ශනයට භාජනය වන තැනැත්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා සම්බන්ධ කිසිඳු කටයුත්තකට මැදිහත් වෙන්න බැහැ කියලා.107 (3) වගන්තිය අනුව මෙවැන්නක් කළොත් රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7 ක් නොඉක්මවන කාලයකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරීමකට එම පුද්ගලයා යටත් වෙනවා...
පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අවසන් අත්සන තබන්නේ කථානායකවරයා. දැන් ඔබතුමා දන්නවා මේ දූෂණ විරෝධී පනත යටතේ දැනට කාරණා දෙකක් සිදුවෙලා තියෙනවා. දූෂණ විරෝධී පනතේ 31 (1) වගන්තිය යටතේ දූෂණ විරෝධී කොමිෂන් සභාව ඔවුන්ගේ වාර්ෂික අයවැය සකස් කරනවා. ඒ වාර්ෂික අයවැය ඉදිරිපත් කරන්න ඕනේ කථානායකතුමා. කථානායකතුමා ගිය 8 වෙනිදා මේක ඉදිරිපත් කළා. එතකොට තමන්ට එරෙහිව චෝදනාවක් තිබෙන, විමර්ශනයක් කෙරෙමින් පවතින පුද්ගලයෙකු මෙය ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේකට පරීක්ෂණයක් කළොත් ලක්ෂ දහයක දඩයක් හෝ අවුරුදු හතක සිරදඬුවමක් විඳින්න වෙනවා. එතුමා ඒ සියල්ල තියෙද්දී තමයි මෙය ඉදිරිපත් කළේ.එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අනෙක් සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්නේ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව. එතකොට තමන්ට එරෙහිව පරීක්ෂණයක් යනකොට ඒ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීමට කථානායකවරයා විදිහට ඔහු වාඩිවෙනවා නම් ඒකත් සම්පූර්ණයෙන් වැරදියි. ඒක බැඳියාවන් පිළිබඳ ගැටුමක්...
විශේෂයෙන්ම දැනට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පිළිබඳ අලුත් සංශෝධන පනතක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී විවාද කළාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය අනුව ඊට අවසන් අත්සන තබන්න ඕනේ කථානායකවරයා. එතකොට ඒකත් වැරදියි. ලබන පාර්ලිමේන්තු සතියේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය එන්න ඉඩ තියෙනවා. ආවොත් ඒකට විවාදයක් යනවා. ඊටපස්සේ ඒක අත්සන් කරන්න ඕනේ කථානායකවරයා. නියෝජ්‍ය කථානායකට අත්සන් කරන්න බැහැ, එතකොට මේ යන ක්‍රියාවලිය තුළ ඔහුට සභාවේ වාඩිවෙන්නත් බෑ, අත්සන් කරන්නත් බෑ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී තැනකට තල්ලු වෙනවා. එතුමාට ඇත්තටම දැන් මේ සභාවේ ඉඳගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වෙනවා හැර එතුමාට වෙන විකල්පයක් නෑ. ආණ්ඩුව මේකට කොහොම ක්‍රියා කරයිද මම දන්නේ නෑ. එතුමා එක්ක මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ.මම මෙතැනදී කිසිම වෙලාවක එතුමා වැරදිකාරයෙක් විදිහට හිතලා නෙමෙයි මේ කතාව කියන්නේ. තාමත් තියෙන්නේ විමර්ශන මට්ටමේ. මම එතුමා වරදකාරයෙක් කියන්නේ නැහැ. හැබැයි තියෙන නීතිමය තත්ත්වයන් අනුව එතුමාට ඔය ධුරයේ ඉන්න බැහැ කියන එකයි මගේ තර්කය.
දෙරණ නාලිකාවේ 14 දා විකාශය වූ 360 සජීවී සංවාදය
උපුටාගැනීම: