ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය පතුරු ගහයි!! යුරෝපයට – රුසියාවට – ඉන්දියාවට – චීනයට සහ ලන්ඩන් නගරාධිපතිටත් දොස්

ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය පතුරු ගහයි!! යුරෝපයට – රුසියාවට – ඉන්දියාවට – චීනයට සහ ලන්ඩන් නගරාධිපතිටත් දොස්

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමාට ලැබුණේ ක්‍රියාවිරහිත විදුලි සෝපානයක් හා කැඩුණු ටෙලිප්‍රොම්ප්ටරයක් බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ඉකුත් අඟහරුවාදා (23දා) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිය කතාව කරමින් ඇමරිකානු ජනපතිවරයා ඉහත කරුණු සඳහන් කර තිබිණි. කතාව සඳහා ජනපතිවරයාට විනාඩි 15ක් වෙන්කර තිබුණ ද ඔහු පැයකට ආසන්න කාලයක් සිය කතාව පැවැත්වීය.

ට්‍රම්ප් සිය කතාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩිව විවේචනය කළ අතර එය නිර්ලජ්ජිත ආයතනයක් ලෙස හැඳින්වීය. යුරෝපීය රටවල්, රුසියාව, ඉන්දියාව සහ චීනය මෙන්ම ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ද ඔහුගේ දෝෂ දර්ශනයට ලක්විය. රුසියාව යුක්රේනයට එරෙහිව ගෙනයන යුද්ධයට ඉන්දියාව සහ චීනය මුදල් සපයන බව ට්‍රම්ප් පැවසීය.

තමා ඉන්දියා-පාකිස්තාන යුද්ධය ඇතුළු යුද්ධ හතක් නැවැත්වූ බවත් මේ සඳහා නොබෙල් ත්‍යාගයක් ලැබිය යුතු බවත් හෙතෙම පැවසීය. යුක්රේනය සමග ඇති යුද්ධය අවසන් කිරීම ජනපති පුටින් ප්‍රතික්ෂේප කිරීම රුසියාව කෙරෙහි නරකම බලපෑමක් ඇති කරන බවත් හෙතෙම කීය.

බි්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ සාදික් ඛාන් ලන්ඩන් නගරයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වේ. ජනපතිවරයා ඔහු විවේචනය කරමින් මෙසේ පැවසීය.

“ලන්ඩනයේ ඉතා නරක නගරාධිපතිවරයෙක් සිටී. ලන්ඩනය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ඔවුන්ට ෂරියා නීතියට යෑමට අවශ්‍යයි. ලන්ඩනය වෙනම රටක් මෙන් වී ඇති අතර ඔබට එය කළ නොහැක.”

කෙසේ නමුත් විදුලි සෝපානය හා ටෙලිප්‍රොම්ප්ටරය ක්‍රියා විරහිත වීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ මෙයට වගකිව යුත්තේ ඇමරිකානු ජනපති සමග පැමිණි කණ්ඩායම බවයි. ජනපතිවරයාගේ වීඩියෝ කැමරාකරුගේ නොදැනුවත්කම නිසා ටෙලිප්‍රොම්ප්ටරය ක්‍රියාවිරහිත වූ බව එම ප්‍රකාශකයා පවසයි

(ජනපති ට්‍රම්ප් හා ආර්යාව දේශන ශාලාවට පැමිණෙමින් සිටියදී එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාවිරහිත විය.)

Search