මධු සමයටත් ආණ්ඩුවෙන් ගුවන් යානා!

ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මනුචින් (Steven Mnuchin) සිය මධුසමය සඳහා යුරෝපය බලා යාමට ආණ්ඩුවේ ගුවන් යානයක් ඉල්ලා සිටීම නිල පරීක්ෂණයක් දක්වා ගිය ප්‍රශ්නයක් බවට පත්ව ඇත.


ලේකම්වරයා සිය මධුසමය සඳහා යුරෝපයට යාමට ආණ්ඩුවේ ගුවන් යානයක් ඉල්ලා සිටි බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබ ඇත.
එවැනි ඉල්ලීමක් කරනු ලැබීම ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයාගේ අධීක්ෂණයට ලක් වෙමින් පවතී.
එම ප්‍රශ්නය උද්ගත වුණේ සිය බිරිඳත් කැටුව ගිය තවත් සවාරියක් සඳහා හමුදා ගුවන් යානයක් යොදාගනු ලැබීම සම්බන්ධයෙන් ස්ටීවන් මනුචින් දැඩි පරීක්ෂණයකට මුහුණ දී සිටින අතරයි.
සිය මධුසම සවාරිය සඳහා ගුවන් යානයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වන ඔහුගේ ප්‍රකාශකයෙක්, එම සංචාරය අතරවාරයේ ධවල මන්දිරය සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා අඛණ්ඩ සන්නිවේදන පහසුකම් සහතික කර ගැනීමේ උවමනාවක් භාණ්ඩාගාර ලේකම්වරයාට තිබුණ බව සඳහන් කළේය.
එහෙත් ලේකම්වරයා සිය ඉල්ලීම පසුව ඉවත් කර ගත් බවත් එම ප්‍රකාශකයා කියා සිටියි.
"ලේකම්වරයාගේ සන්නිවේදන පහසුකම් සහතික කර ගනු ලැබීම පැහැර හැරිය නොහැකි උවමනාවක්. ඔහු සංචාරයේ නිරත වෙමින් සිටින කාලය තුළ සන්නිවේදනය අතින් වඩාත් විශ්වාසදායක ක්‍රම ගැන අපි සලකා බලනවා. ඒ සඳහා යුද හමුදා ගුවන් යානයක් යොදා ගනු ලැබීමට ඇති ඉඩකඩ සලකා බැලීමත් ඊට ඇතුළත්" එම ප්‍රකාශකයා පසුගිය බදාදා සඳහන් කර තිබුණි.

 

ස්ටීවන් මන්චින් පදවියේ දිවුරුම් දෙමින් -ජනාධිපති ට්‍රම්ප් ඔහු අසල
සම්ප්‍රදායක් හැටියට සංචාර සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවේ ජෙට් යානා පාවිච්චි කරනු ලබන්නේ ජාතික ආරක්ෂාවට අදාළ කාරණා සමඟ කෙළින්ම සම්බන්ධ වෙන රාජ්‍ය ලේකම්වරයා හෝ ආරක්ෂක ලේකම්වරයා පමණි.
එවැනි ජෙට් යානාවක් පාවිච්චියට ගනු ලැබීමේදී පැයකට ඩොලර් 25000 ක් වැය වෙයි.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩලය තුළ දරන තනතුර අනුව භාණ්ඩාගාර ලේකම්වරයා එම පහසුකම ලබා ගැනීමට තීන්දු කිරීම ඔහුගේ කාර්යාලය විසින් යුක්ති සහගත කරනු ලැබ ඇත.
එහෙත් වෙනත් සන්නිවේදන මාර්ගයක් සොයා ගනු ලැබීම නිසා ආණ්ඩුවේ ගුවන් යානය යොදා ගනු ලැබීම "අනවශ්‍ය බව" පසුව තේරුම් ගත් බව එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ලුයිස් ලින්ටන් සමාජ මාධ්‍ය ජාලයට එක් කළ මේ පින්තූරය මුල්කර ගත් මහා විවාදයක් ආරම්භ විය
හිටපු බැංකු කරුවකු වන ස්ටීවන් මනුචින් පසුගිය ජුනි මාසයේ තමා විවාහ කර ගත් සිනමා නිළියක වන ලුයිස් ලින්ටන් (Louise Linton ) නම් 'ස්කොට්' ජාතික බිරිඳත් සමඟ ස්කොට්ලන්තය, ප්‍රංශය සහ ඉතාලිය යන රටවල මධුසමය ගත කළේය.
මේ අතර පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණ දිනයේ ඔහු 'කෙන්ටකි' (Kentucky) ප්‍රාන්තයේ සිදු කළ නිල සංචාරයක් සඳහා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් යානයක් යොදා ගැනීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා විසින් දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.
පූර්ණ සූර්යග්‍රහණය සහමුළින්ම බල පෑ කලාපය ඔස්සේ ගමන් ගැනීමේ අරමුණෙන් එක්සත් ජනපදයේ රත්රන් සංචිත ගබඩා කරනු ලැබ ඇති ෆෝර්ට් නොක්ස් (Fort Knox) කරා එම සංචාරය සැලසුම් කරන ලද බවට කෙරෙන ප්‍රකාශන භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දැඩිව බැහැර කරනු ලැබ ඇත.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ බිරිඳ ලුයිස් ලින්ටන් තමා සහ තම සැමියා එක්සත් ජනපද ආණ්ඩුවේ ජෙට් යානයකින් පිටතට එනු දැක්වෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කරනු ලැබීමෙන් අනතුරුව ඇය කෙරෙහිත් අවධානය යොමු වන්නට විය.
එම පින්තූරයේ දැක්වෙන පරිදි ඇය ඉතා ඉහළ වටිනාකම් සහිත ඇඳුමින් සැරසී සිටින ආකාරය ඊට අමුණා ඇති වෙළෙඳ සන්නාම මගින් පෙන්නුම් කෙරෙයි.
ෆෝර්ට් නොක්ස් (Fort Knox) කරා ගිය යුවළ එහි වහලේ සිට සූර්යග්‍රහණය නරඹා ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබුණි.

ලුයිස් ලින්ටන් -සමාජ මාධ්‍ය ජලයේ අවධානය
සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරන්නෙක් ඉහත කී පිංතූරය දෝෂ දර්ශනයට ලක් කරනු ලැබීමෙන් පසු ඊට ප්‍රහාරාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ලුයිස් ලින්ටන් " එය පෞද්ගලික සංචාරයක් යයි ඔබ සිතන්නේදැයි" ප්‍රශ්න කළාය.
ඒ සම්බන්ධයෙන් ඇයට මෙවැනි පිළිතුරක් ලැබුණි.
" හරිම අනර්ඝයි! මධු සමයට හෝ පෞද්ගලික සංචාර වලට ආණ්ඩුව මුදල් ගෙවනවයි කියල ඔබ හිතනවද ? Lololol"
මේ අතර එක්සත් ජනපදයේ පළ කෙරෙන විවිධ ප්‍රකාශන මගින් ලුයිස් ලින්ටන් ගේ අදහස් වලට විවිධ අර්ථ ගැන්වීම් සිදු කෙරෙමින් පවතී.
කෑමට පාන් නැතිව උද්ඝෝෂණය කළ ප්‍රංශ ජනයාට "පාන් නැත්නම් කේක් කාපල්ලා!"යයි කියා සිටි මාරී අන්ටෝනිට් රැජින සිහිපත් කරමින් එක් ප්‍රකාශනයක මෙසේ සඳහන් කර තිබුණි.
"ඔවුන්ට ඔවුන්ගේ වැදගත් අවස්ථාවට ඉඩ දෙන්න"
මේ අතර ලුයිස් ලින්ටන් තමා අන්තර් ජලයට එක් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව සමාව අයැද සිටියාය.

බීබීසී සංදේශය

Search