විදුලි පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලීමක්

විදුලි පරිභෝජනය අවම කරන්නැයි ඉල්ලීමක්

විදුලි පරිභෝජනය දෛනිකව පස්වරු හයේ සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ අඩු කරන්නැයි ඉල්ලීමක් කරනවා.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ  පැවසුවේ රටක් ලෙස එලෙස කටයුතු කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද හැකි බවයි.

මේ අතර ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

එමෙන්ම නියමිත රාජකාරී වේලාවෙන් පසුව සහ සතිඅන්ත දිනවල අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර කාර්යාලය වසා තැබීමට වගබලා ගතයුතු බවට ද ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින්.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේ දී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු වනවා.

එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගතහැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු බවද දැනුම් දි තිබෙනවා.

එමෙන්ම ස්වභාවික ආලෝකය, හැකි සෑම විටකම භාවිත කිරීමට සහ වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කිරීමට යොමුවන ලෙසයි අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ.

ආයතනවල විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කර පියගැටපෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනයට මෙන්ම පළාත්පාලන ආයතන මගින් පාලනය වන විදුලි ලාම්පු අනවශ්‍ය අවස්ථා වලදී නිවා දැමීමට පියවර ගත යුතු ද වනවා.

ඊට අමතරව අධිආරක්ෂක හා ආරක්ෂිත කලාපවල හැර අනෙකුත් මාර්ගවල විදුලි පහන් නිවා දැමීම මෙන්ම දිවා කාලය තුළ දී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර අක්‍රීය කිරීමට කටයුතු කළයුතු බව අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්.

සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේ දී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු වනවා.

ජාතික බලශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් උපරිම සහාය ලබාදීමට වගබලාගතයුතු බව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා.

Search