සමුපකාර සහ වෙළෙඳ ඇමැතිව සිටි කාල සීමාවේ සතොස ආයතනයේ ලොරියක් අවභාවිත කරමින් රජයට අලාභයක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ බාල පුත්‍රයාද ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05 වැනිදා) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැතිවරයා සහ පුත්‍රයා ඊයේ පෙරවරු 8.30ට පමණ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටියහ.
එහිදී පැය තුනකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව හිටපු ඇමැතිවරයා සහ පුත්‍රයා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් තිබිණි.
සතොස ආයතනයට අයත් ලොරි රථයක් ස්කාගාරයක ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් අලාභ කළේය යන චෝදනාව යටතේ හිටපු ඇමැතිවරයා සහ පුත්‍රයා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
එහිදී රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුත්‍රයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 30 වැනිදා හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයා වූ ජොහාන් ප්‍රනාන්දු ද මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ජොහාන් ප්‍රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
සතොස ආයතනයේ ලොරියක් ස්කාගාරයක ප්‍රවාහන කටයුතුවලට යෙදවීමෙන් සිදුවූ අලාභය සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීමේ චෝදනාව යටතේ සතොස ආයතනයේ ප්‍රවාහන අංශය භාරව සිටි ඉන්දික රත්නමලල මහතා ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.