විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව ජනතාවට කරන අසාධාරණයක් – මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

විදුලි ගාස්තු වැඩි කරන යෝජනාව ජනතාවට කරන අසාධාරණයක් – මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක


දිට්වා සුළිකුණාටුවට මුවාවී විදුලි බිල 11%කින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ආ යෝජනාව සම්පූර්ණයෙන්ම මෙරට ජනතාවට කරනු ලබන අසාධාරණයක් බව මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඊයේ (02දා) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනා උපයෝගි කරගනිමින් මෙම වසරේ මුල් මාස තුන සඳහා මෙලෙස විදුලි බිල වැඩි කිරීමට යෝජනා කර ඇති බවත් එය දිට්වා නිසා අසරණභාවයට පත් මෙරට විදුලි පාරිභෝගිකයාට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා හා සමාන වනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 20ක පාඩුවක් සිදුව තිබෙනවා. නමුත් පසුගිය වසරේ මණ්ඩලය බිලියන 147කට අධික ආදායමක් ලැබුවා. එවන් තත්ත්වයක් යටතේ ඇතිවුණු අලාභයෙන් 60%ක් හෙවත් බිලියන 07ක් ඇතුළුව බිලියන 20ක් රටේ ජනතාවගෙන් අය කර ගැනීමට කර ඇති යෝජනාවම විශාල අසාධාරණයක්. මෙය රජය දැරිව යුතුව තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් විදුලිය නැහැ. මේ ප්‍රශ්නයට දේශපාලනීකරණය නොගෙන ජනතාව පෙරට ආ යුතුයි.

11% වැඩි කිරීමෙන් බිලියන 07ක පාඩුව වසා ගන්නවා වගේම ඉතිරි 09%ක් වෙනත් අලාභ සහ සේවක වන්දි ගෙවීම වෙනුවෙනුත් මහජනතාවගෙන් මුදල් අයකර ගැනීමෙන් තමයි මේ කරන්න යන්නේ.

රටේ ජනතාවගෙන් ලක්ෂ 03ක් තවමත් අවතැන්. ඔවුන්ගෙන් බහුතරයකට වේල් තුන කන්න නැහැ. මෙවන් අවස්ථාවක විදුලි බල මණ්ඩලය කරනු ලබන මෙම බිල වැඩි කිරීමේ යෝජනාව සම්පූර්ණ අසාධාරණයක්.

මේ බිල සම්බන්ධයෙන් මහජනතාව හඬක් නොනැඟුවොත් මොවුන් අනිවාර්යයෙන්ම වැඩි කිරීමට යනවා. මෙය වැඩි නොකළහොත් අයි. එම්. එෆ්. ඉදිරි ණය වාරික අවදානමේ. අයි. එම්. එෆ්. කියන්නේ සහනාධාර ආයතනයක් නෙමෙයි. මේක කළු කඩයක් වගේ ව්‍යාපාරයක්. ඔවුන්ගේ පොලිය 6.5%යි යැයි ද මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Search