මිහින්තලේ හාමුදුරුවෝ ආණ්ඩුවට චෝදනා කරයි

මිහින්තලේ හාමුදුරුවෝ ආණ්ඩුවට චෝදනා කරයි

මෙරට නිරාගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් රජය පාසල් විෂය නිර්දේශයන්ට විකෘති ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් කර ඇති බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ චෝදනා කරති. 

මේ පිළිබඳව තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මීට වසරකට පෙර සිටම අනතුරු ඇඟවූ බවත්, අද වන විට එම කරුණු සනාථ වෙමින් පවතින බවත් උන්වහන්සේ පවසති.

විශේෂයෙන්ම හය වසර පෙළපොත් හරහා මෙවැනි විෂය කරුණු දරුවන්ට ඉදිරිපත් කිරීම සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බවත්, මෙය රටේ දරුවන්ට අහිතකර ලෙස බලපාන "අකටයුත්තක්" බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

අයිතිවාසිකම් සහ විෂය නිර්දේශ සමලිංගික හෝ සමරිසි පුද්ගලයන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් හෝ ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව තමන් වහන්සේට ගැටලුවක් නොමැති වුවද, එවැනි ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව නෛතික බලයක් ලබා දී ඒවා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන්ට බලහත්කාරයෙන් ඇතුළත් කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකි බව ධම්මරතන හිමියෝ සඳහන් කළහ. 

අතීතයේ පැවති "සෞඛ්‍ය විද්‍යාව" විෂය තුළ අවශ්‍ය සියලු කරුණු අන්තර්ගතව තිබූ බවත්, වර්තමානයේ මෙය විකෘතියක් දක්වා ගෙන ගොස් ඇති බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

මණ්ඩල නවයකින් පෙරී එන විෂය නිර්දේශ මෙය හුදෙක් අත්වැරදීමකින් සිදු වූවක් බවට රජය පවසන ප්‍රකාශ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. පෙළපොතක් මුද්‍රණයට යාමට පෙර එය මණ්ඩල නවයකින් පමණ පෙරී, ආචාර්ය මහාචාර්යවරුන් රැසකගේ සෝදුපත් බැලීම්වලට ලක්වන බවත්, එබැවින් මෙය දැනුවත්ව සිදුකළ ක්‍රියාවක් මිස වැරදීමක් නොවන බවත් උන්වහන්සේ පවසති. 

මේ සඳහා දැනටමත් රජයේ මුදල් කෝටි ගණනක් වැය කර ඇති බවද උන්වහන්සේ හෙළි කළහ.

වගකිවයුත්තන්ට චෝදනා අධ්‍යාපන ලේකම්වරයා ඇතුළු බලධාරීන් මේ පිළිබඳව ජනතාවට බොරු නොකිය යුතු බවත්, මෙහි වගකීමෙන් නිදහස් වීමට ඔවුන් උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ. 

මීට එරෙහිව අධ්‍යාපන වෘත්තීය සමිති අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, රටේ අනාගතය සහ දරුවන් වෙනුවෙන් සියලු දෙනා අවදි විය යුතු කාලය එළඹ ඇති බවත් ධම්මරතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ

Search