පළමු වතාවේ පැරදුණු කොළඹ අය – වැය ඊයේ වැඩි ඡන්ද 2කින් සම්මත වෙයි

පළමු වතාවේ පැරදුණු කොළඹ අය – වැය ඊයේ වැඩි ඡන්ද 2කින් සම්මත වෙයි

පක්‍ෂව ඡන්දය දුන් සොහාරා මු.කො. පක්‍ෂයෙන් නෙරපයි

පළමු අවස්ථාවේ පරාජයට පත්වූ කොළඹ මහ නගර සභාවේ අය-වැය ඊයේ (31දා) දෙවැනි වරට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි ඡන්ද 2කින් සම්මත විය.

අය-වැයට පක්‍ෂව ඡන්ද 58ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 56ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඉකුත් දෙසැම්බර් 22දා කොළඹ නගර සභාවේ 2026 අය-වැය යෝජනාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කළ විට මන්ත්‍රීවරුන් 60ක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර මන්ත්‍රීවරු 57ක් අය-වැයට පක්‍ෂව ඡන්දය දුන්හ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය කොළඹ මහ නගර සභාවේ බලය ලබාගත් අතර නගරාධිපති අපේක්‍ෂක ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබාගෙන නගරාධිපති ධුරයට තේරී පත්වූවාය.

මේ අතර ඊයේ ඡන්ද විමසීමේදී මාලිමාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සොහාරා බුහාරි මහත්මියට පක්‍ෂයෙන් නෙරපා හැරීමේ ලිපිය යොමු කිරීමට එම පක්‍ෂයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පියවර ගත්තේය.

එජාප මන්ත්‍රී රම්සි ටෝනි මහතා ද ඊයේ අය-වැයට පක්‍ෂව ඡන්දය දුන්නේය.

එජාප තවත් මන්ත්‍රීවරයකු වන රම්සි හාජියාර් ඡන්ද විමසන අවස්ථාවේම හදිසියේ සභා ශාලාවෙන් පිටතට දුවගිය අතර ඔහු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභාවේ නොසිටියේය. මේ අතර සජබ මන්ත්‍රී සේන් ඩැනියෙල් පෙරේදා රාත්‍රියේ සිටම තම දුරකථන විසන්ධි කරගෙන සිටි අතර ඔහු සම්බන්ධකර ගැනීමට ද එම පක්‍ෂයේ අයට බැරිව තිබේ. මේ අතර තවත් පක්‍ෂයක මන්ත්‍රී ඉන්දික පෙරේරා ද සොයා ගැනීමට නොහැකිවී තිබුණු බවද වාර්තා විය

Search