විදුලිය අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම අත්තනෝමතිකයි – දුමින්ද නාගමුව පවසයි

විදුලිය අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම අත්තනෝමතිකයි – දුමින්ද නාගමුව පවසයි

විදුලිබල මණ්ඩලය කොටස් වශයෙන් වෙන් කර සමාගම්වලට කැඩීමේ රජයේ වැඩපිළිවෙළට එරෙහිව විදුලිබල ක්ෂේත්‍රයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කරයි.

ඔවුන් කියා සිටින්නේ මෙම ක්‍රියාවලිය වක්‍රාකාරයෙන් විදුලිය පෞද්ගලිකරණය කිරීමක් බවයි.

නව රජය බලයට පත්ව වසරක් සම්පූර්ණ වන විට, විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් සේවක නිවාඩු අවලංගු කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව අත්තනෝමතික ගමනක් යන බව ජන අරගල ව්‍යාපාරයේ දුමින්ද නාගමුව පැවසීය.

“මේ පෞද්ගලිකරණය කිරීම තුළ තමයි අපේ විරෝධය ගොඩනැගෙන්නේ. ආණ්ඩුව මෙය පෞද්ගලිකරණය කරන්නේ නැහැ කිව්වත්, සමූහ ව්‍යුහය සමාගම්වලට කැඩීමෙන් පසුව ඕනෑම මොහොතක කොටස් වෙළඳපොළට එකතු කරන්න පුළුවන්. ඔවුන් කරන්නේ සමාගම්වල කොටස් විකිණීමයි. එදා හම්බන්තොට වරායේ කොටස් විකුණන විට ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ ඔය දේ නෙවෙයි” යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇත්තේ වැඩවර්ජනයක් කැඳවීමට පෙර බවත්, මෙය රජයේ කඩිමුඩියේ ගත් තීරණයක් බවත්ය.

“දැන් හදිසියේ තර්කයක් ගේනවා මේක පවත්වාගෙන යන්න බැහැ කියලා. එතකොට ආණ්ඩුව පටන් ගන්න අලුත් ව්‍යාපෘති කොහොමද පවත්වාගෙන යන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

රජය විසින් තවත් රාජ්‍ය ආයතන 33ක් වසා දැමීමට හෝ කොටස් විකිණීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවත්, එයට රාජ්‍ය බැංකු දෙකක් ද ඇතුළත් බවත් ඒ මහතා කියා සිටියේය.

ඩිජිටල් මීටර් මත වැරදි මතයක් ගොඩනගනවා – ධම්මික මුනසිංහ

මෙම මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති නායක ධම්මික මුනසිංහ පැවසුවේ, විදුලි සේවකයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බසින විට, ඩිජිටල් මීටර් සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනඟාගෙන යන බවයි.

“ජවිපෙ දේශපාලනය නියෝජනය කරන ලාල්කාන්ත කියනවා කැතම වෘත්තීය සමිතිය තියෙන්නේ දුම්රිය කියලා. රාජ්‍ය අංශයේ බහුතර වෘත්තීය සමිති හැරුණු විට අනෙක් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන්නේ නැහැ” ඔහු සඳහන් කළේය.

“වෘත්තීය සමිතිවලට තග දාලා මේවා කරන්න බැහැ” – නිහාල් අජිත්

එක්සත් පොදු සේවක සංගමයේ නිහාල් අජිත් කියා සිටියේ, අවාසනාවකට, විදුලිබල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමට එදා විරුද්ධ වූ ප්‍රධාන විපක්ෂයක් අද ආණ්ඩුවේ සිට එම දේම කරන බවයි. “දැන් අපිට වෘත්තීය සමිතියක් විදියට ඔවුන් සමඟ සටන් කරන්න සිදුවෙලා තියෙනවා. අපි ආණ්ඩුවට කියන්න කැමතියි වෘත්තීය සමිතිවලට ‘තග’ දාලා මේවා කරන්න බැහැ” ඔහු අවධාරණය කළේය.

“විදුලිය කෑලි කැඩීමට එරෙහිව විරෝධය” – සරත් ද සිල්වා

වෘත්තීය සමිති නායක සරත් ද සිල්වා පැවසුවේ, “අද ආණ්ඩුව විසින් සියලු උපක්‍රම යොදමින් විදුලි වෘත්තීය සමිති මර්දනය කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණට අයිති විදුලි සේවකයනුත් මෙයින් එක් කොටසක් කරමින් තිබෙනවා” යනුවෙනි.

“මෙය කෑලි කැඩීමට තමයි වෘත්තීය සමිති අද විරෝධතා දක්වන්නේ. පුංචි විරෝධතාවක් කළත් ඔවුන් කලබල වෙලා අද විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරලා සේවකයින්ගේ නිවාඩු අවලංගු කරලා තිබෙනවා” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය. ජනාධිපතිවරයා මාධ්‍ය සංදර්ශන පෙන්වමින් සමහර සේවකයින් සමාගම්වලට යන්න කැමති බවට ප්‍රකාශ කිරීම ද ඔහු විවේචනය කළේය

Search