රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ…

රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කෙරේ…

 

“අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය” නම් සංවිධානයක් විසින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තිදෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ මුදල් අවභාවිතය සහ වත්කම් බැරකම් සම්බන්ධව විමර්ශන සිදු කිරීමටයි.


අදාළ පැමිණිල්ලට අනුව, පරීක්ෂණ ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ යන තිදෙනාට එරෙහිවය.

මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි නිවස අලුත්වැඩියා කිරීමට රජයේ මුදල් ලක්ෂ 51,000ක් වැය කර තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ඇත. මෙම වියදම නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අනුව සිදු වීද නැතහොත් දූෂිත ක්‍රියාවක් නිසා රටට පාඩුවක් වී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බව පැමිණිලිකරුවෝ කියා සිටිති.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් පිළිබඳ තොරතුරු සත්‍ය තොරතුරුද නැතහොත් ඒවා අයථා ලෙස උපයා ගත් දේපළද යන්න පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ඇත.

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සතු රුපියල් ලක්ෂ 4000ක් පමණ වටිනා නිවසක් පිළිබඳවද විමර්ශනයක් ඉල්ලා ඇත. පැමිණිල්ලට අනුව, මෙම නිවස ‘සිරිලිය ගිණුමේ’ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට අදාළ ලේඛනවල සඳහන් වේ. මෙම ගනුදෙනුව දූෂිත ක්‍රියාවක් බව පෙනී යන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ.

Search