කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන රසායනාගාරයේදී හදිසි හෘද රෝග නිර්ණය සඳහා සිදුකෙරෙන අධිසංවේදි රුධිර පරීක්ෂණය (High Sensitive Troponin) මේ වනවිට ඇනහිට ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙම තත්ත්වය මත රෝගීන්ට රුපියල් දස දහසකට ආසන්න මුදලක් ගෙවා එම පරීක්ෂණය පිටතින් සිදුකර ගැනීමට සිදුව ඇති බවත් ඒ සඳහා ගතවන කාලය මත පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනවිට රෝගී ජීවිත අවදානමට පත්විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියයි.
තෝරාගත් එක් සමාගමකින් පමණක් එම රසායනික පරීක්ෂණයට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ රසායනික උපකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණනයෙන් බරපතළ ලෙස එම ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරුන් සහ රසායනාගාර ශිල්පීන් සම්බන්ධව ප්‍රශ්න කර තිබීමත් ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරුන් සහ රසායනාගාර භාර විශේෂඥ වෛද්‍යවරුන් අතර ඇතිව තිබෙන මතභේදයන් මෙම අධිසංවේදී රුධිර පරීක්ෂණ ඇනහිටීමට කාරණාව වී ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
එමෙන්ම ඉතා අඩු මුදලකට කළ හැකි මූලික හදිසි හෘද රෝග රුධිර පරීක්ෂණ තිබියදී අධික මිලක් වැයවන මෙම පරීක්ෂණයම කළ යුතු බවට ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල තුළ මතයක් ගොඩනඟා ඇති බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කියා සිටී
හදිසි හෘද රෝග නිර්ණයට අවශ්‍ය අධිසංවේදි රුධිර පරීක්ෂණ ජාතික රෝහලේදී සිදුකිරීම නවතී
