පක්ෂය විසින් රටට පිළිගත හැකි ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගය කළමනාකාර කමිටුව හමුවේ ඊයේ (15දා) මන්ත්‍රීන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇත.
සම්ප්‍රදායික පක්ෂ දේශපාලනය වෙනුවට දැන් අවශ්‍ය වී ඇත්තේ රටේ ආර්ථික ස්ථායිතාව ඇති කිරීම පිණිස පිළිගත හැකි ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරීම බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මාස කිහිපයකට පසුව සජබ කළමනාකරණ කමිටුව ඊයේ පෙරවරු 10ට පමණ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී ප්‍රථමයෙන් අවධානය යොමුවී ඇත්තේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී තේරී පත්වූ නව මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය සහ ඔවුන්ට අවශ්‍ය නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමය.
එහිදී ඔවුන් සඳහා වැඩමුළු පැවැත්වීමට අවධානය යොමුවී ඇත. ඊට අමතරව පක්ෂයේ ආසන සංවිධායකයන් පත්කිරීම සහ ශාඛා සමිති පිහිටුවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු වී තිබේ. එහිදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අදහස් පළ කරමින් කියා ඇත්තේ රටට මේ වන විට අවශ්‍යව ඇත්තේ සම්ප්‍රදායික දේශපාලන ක්‍රම තේරීම නොව රට ඉදිරියට ගෙන යා හැකි ආර්ථික දර්ශනයක් හඳුන්වා දීම බවය.
නිසි පරිදි එවැනි ක්‍රමයක් හඳුන්වා දීමට අපොහොසත් වීම හේතුවෙන් සජබයට වඩා පහළින් සිටි සියයට 04ක පමණක් ඡන්ද ප්‍රතිශතයක් තිබූ ජාතික ජන බලවේගයට ආණ්ඩු පිහිටුවීමට හැකි වූ බව ඔහුගේ අදහස වී තිබේ.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ද රටේ ආර්ථිකය ගොඩ නැංවිය හැකි බවට ජනතාව අතර මතයක් පවතින බවත් සජබය සම්බන්ධයෙන් එවැනි මතයක් සමාජයේ නොමැති බවත් ඔහු කෙළින්ම සඳහන් කර ඇත. කබීර් හෂීම් සහ හර්ෂ ද සිල්වා ඇතුළු සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව පක්ෂයේ මන්ත්‍රීවරුන් මීට වඩා මැදිහත්ව අදහස් පළ කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා ඇත. තමන් වෙනුවෙන් කිසිවකු අදහස් පළ නොකරන්නේ නම් තමන් වෙනුවෙන් තමාටම පෙනී සිටීමට සිදුවන බව ද ඔහු සඳහන් කළ බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ ට පැවසීය.