කහවත්ත - ඇන්දාන මාර්ගයේ උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ අදාල තරුණයා ඝාතනය කිරීමට පෙර පැහැර ගැනීම සදහා පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් ඔවුන් කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ ගැටලුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.
පසුගිය 30 වනදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කහවත්ත - බුන්ගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නමැති 22 හැවිරිදි තරුණයෙකු මියගියා.
ඔහුගේ මිතුරෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද වෙඩි වැදී තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මියගිය තරුණයා සහ ඔහුගේ මිතුරා නිවසේ සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් රැගෙන ගොස් තිබුණේ, මාංචු ද දැමීමෙන් අනතුරුවයි.
පසුව ඇන්දාන මාර්ගයේ කොස්කෑල්ල වතු නිවාසවලට පහළ ප්‍රදේශයේ පාලූ ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.
මියගිය තරුණයාගේ මළ සිරුර හමුවූ අවස්ථාවේදී ද ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ අතර දණගස්සවා වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා. මියගිය තරුණයාගේ නිවස ආසන්නයේ මීට මසකට පමණ ඉහතදී පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.
එම අවස්ථාවේදී මියගිය තරුණයාගේ නිවුන් සොහොයුරා ප්‍රකාශ කර ඇත්තේ පොලිසියට තොරතුරු ලබා දුන්නේ තමන් බවයි.
එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකිණීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඩුබායිහි සිටින අමිත නැමැත්තෙකු විසින් ඔහුට මරණ තර්ජන එල්ල කළ බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.
අමිත නැමැත්තාගේ බිරිද මියගිය තරුණයාගේ නිවස ආසන්නයේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් සිය සැමියාට මෙම තරුණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සදහා අදාල තරුණයා නිවසෙන් පිටතට ගැනීමට ද සහයක් ලබා දී ඇති බවයි