තවදුරටත් මංමුලා කළා ඇති. ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

තවදුරටත් මංමුලා කළා ඇති. ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් අවශ්‍ය සාධනීය විසඳුම් ලබා දෙන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියි

ජුනි 30 වැනි දා මැදියම් රැයෙන් පසුව අප රටේ පරාටේ නීතිය ක්‍රියාත්මක වී ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල වෙන්දේසිය ඉතා වේගයෙන් ක්‍රියාත්මක කිරිමට අනුමැතිය හිමිවන බවත් මේ තුළින් අප රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් රැසකගේ දේපල වෙන්දේසි වීමට නියමිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ දළ දේශිය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් 40 ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට රැකියා ලබා දෙන්නේ මේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් මේ පරාටේ නීතිය නැවත වරක් ක්‍රියාත්මක කර ව්‍යවසායකයන්ගේ හා කර්මාන්තකරුවන්ගේ දේපල හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි වන විට මේ ක්ෂේත්‍රයෙන් දළ දේශීය නිෂ්පාදනයට වෙන දායකත්වය අඩු වෙන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සිතිය යුතු බවත් එය සෘජුවම ආර්ථික වර්ධනයට බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සිට පරාටේ නීතිය නැවත සක්‍රීය වීම නිසා නිසා අසරණ වන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.*

*වත්මන් රජයත් හිටපු රජයත් කළේ බොරුව සහ රැවටිල්ල විතරයි*

ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටී එය දළ දේශීය නිෂ්පාදනයට බලපානව සේම විරැකියාව වර්ධනය වී අපනයන ප්‍රවර්ධනය වීමට වඩා අපනයන අඩු වීම සිදුවන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය යන ආණ්ඩු දෙකම කළේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුලා කර රැවටීම බවත් මොවුන් මැතිවරණ ඉලක්ක කර ගෙන පරාටේ නීතිය තාවකාලිකව අවසන් කළත් දැන් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙනුවෙන් කිසිවක් නොකරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

*රජයේ වගකීම මොවුන් ආරක්ෂා කිරිම*

ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් ඉල්ලා සිටියේ පරාටේ නිතිය තාවකාලිකව අත්හිටුවනවා සේම ණය හා පොලී කපා හැරිමක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අපේක්ෂා කළ බවත් පාස්කු ප්‍රහාරය කොරෝනා කෝවිඩ් හා බංකොලොත්භාවය නිසා මොවුන් අසරණ වූ බවත් එම නිසා මොවුන්ට සහයෝගය ලබා දීම රජයේ වගකීම බවත් මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම මෙන්ම බොල් ණය කපා හැරිම, පොලියෙන් කොටසක් කපා හැරීම ආදිය සිදු කර මොවුන්ට නැවත ගොඩ ඒමට කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*2/3ක බලයක් සහ ජනාධිපතිකමක් තියන් ප්‍රශ්නවලින් පැන යන්න එපා*

රජයට මේ ගැටලුවෙන් පැන යා නොහැකි බවත් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් මෙන්ම විධායක ජනාධිපති බලයක් ඇති ආණ්ඩුවක් ඇති නිසා ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මේ ගැටලුවට උත්තර හා විසදුම් අපේක්ෂා කරන නිසා මේ ගැටලුවලට පැන යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*රැවටුවා ඇති. විසදුම් ලබා දෙන්න*

එබැවින් බොරුව රැවටීම නතර කර මේවාට විසඳුම් ලබා දෙන ලෙසත් වහාම ක්‍රියාත්මක වන ලෙස සීමාසහිත කාලයකට පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිම අත්හිටුවා ණය ප්‍රතිව්‍යුගත කිරිමක්, බොල් ණය මෙන්ම පොලිය ආදිය කපාහැර මොවුන් ට දිය හැකි සහන ලබා දිය යුතු බවත් බොරු සාකච්ඡා පවත්වා මංමුලාකළ යුගයට තිත තබන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

https://youtu.be/3JoxeeYcU1s?si=8sArhcvfNZdfnosN

Search