ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ හැරවුම් ලක්ෂයක නොව පරීක්ෂණ ස්ථානයක බවත් ලෝක බැංකුව විසින් මේ වන විට අප රටේ ආර්ථික වර්ධනය 3.5% සිට 3.1% දක්වා සංශෝධනය කර ඇති බවත් මෙය යථා තත්ත්වයට පත් වීමක් නොව රට එක තැන පල්වීමක් බවත් මේ සංඛ්‍යාලේඛන ශුභවාදී නොවන නිසා මේ ගැන අප සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වර්තමානයේ අප රටේ ආර්ථිකයේ මේ පවතින සංසුන්භාවය කුණාටුවකට පෙර මුහුදේ පවතින නිහඩතාව වැනි දෙයක් බවත් අප රට තවමත් දැවැන්ත ණය කන්දක සිරවී ඇති බවත් මේ සහන කාලය 2028 වසරේ දී අවසන් වන නිසා එතැන් සිට නැවත වරක් අපට ණය ගෙවීමට සිදුවන බවත් ඒ වෙනුවෙන් අප රටක් ලෙස ගැඹුරු පරිවර්තනාත්මක වෙනසකට මුල පුරන්නේ නැතිනම් නැවත වරක් දෙවැනි වරටත් රට බංකොලොත්භාවයට පත් වන බවත් මේ ඛේදවාචකය සම්බන්ධයෙන් අප දැනුවත්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති 2025 යොවුන් ව්‍යාපාර සමුළුවේ (Teen Business Summit 2025) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඒම අවස්ථාවට එක්වෙමිනි.*
නැවත වරක් රට බංකොලොත්භාවයට පත් වීමට ඉඩ නොදී මේ මොහොතේ සිට අප නැගී සිටිය යුතු බවත් ඒ සඳහා නව ජාතික පරිවර්තනයක අවශ්‍යතාවක් ඇති බවත් එය පැරණි බල ව්‍යූහයන්ගෙන් නොව නව පරම්පරාවකින් සිදුවිය යුතු බවත් එම කාර්යය වෙනුවෙන් පැරණි ආර්ථික න්‍යායන් කටපාඩම් නොකර ඒවාට අභියෝග කළ හැකි ආකාරයට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එසේම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උතුරේ ක්ෂුද්‍ර ව්‍යවසායන්, නැගෙනහිර කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන කෘෂි තාක්ෂණික මධ්‍යස්ථාන, ගෝලීය ප්‍රජාවට අපනයනය කරන ඇඟලුම් ව්‍යාපාර, අඩු පහසුකම් සහිත ග්‍රාමීය-නාගරික වතු ප්‍රජාවන් සම්බන්ධ කරන විසඳුම්, රොබෝ විද්‍යාව, කෘතිම බුද්ධිය සහ ආර්ථික කතිකාව ආධිපත්‍යය දරන ඉහළ තාක්ෂණය ගැන අප රටක් ලෙස අවධානය යොමු කළ යුතු බවත් මේවා සිහින පමණක් නොව නව ජාතික උපායමාර්ග විය යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ ලෝකයේ විශාලතම පාරිභෝගික කලාපවලින් එකක් වන යුරෝපීය වෙළඳපොළට පිවිසෙන දොරටුවක් වන GSP + තිරසාරව පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.
ඒ සඳහා කාර්ය සාධනය, යහපාලනය, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, පාරිසරික ආරක්ෂණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ඔරොත්තු දීමේ හැකියාව තිබිය යුතු බවත් ඊට අමතරව අපගේ දේශසීමාවලින් ඔබ්බට දිග හැරෙන අනතුරු පිළිබඳව ද අප පැහැදිලි ඇස් ඇතිව සිටිය යුතු බවත් පැවසීය. මෑත කාලයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති යුද්ධය ගෝලීය ආරක්ෂාව කෙරෙහි බලපාන නිසා මෙය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වුවහොත්, එහි බලපෑම් මැද පෙරදිගට පමණක් සීමා නොවන බවත් මේ නිසා ගෝලීය වෙළෙදාමට ද විශාල බලපෑමක් සිදුවිය හැකි නිසා ඒ ගැන ද සැලකිලිමත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.