ලෝක තෙල් මිල තවත් ඉහළට

ලෝක තෙල් මිල තවත් ඉහළට

අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බොක්ක ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා. 

 
ඉරානයේ මෙම තීරණයත් සමග මෙමගින් ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මත පළවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

 
ලෝකයේ ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් සියයට 20ක් පමණ සිදුවන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතවයි. 
 
මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වන අතර, එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි. 
 
ඉරානය ලෝක තෙල් නිෂ්පාදනයේ හත්වැන්නා වන අතර, ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබනවා. 
 
කෙසේ වෙතත් ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 9ක ප්‍රමාණයකට හිමිකම් කියන ඉරානයට සියයට 30ක වෙළෙඳ බලයක් හිමිව තිබෙනවා.
 
 ඔවුන්ට එවැනි බලයක් හිමිව තිබෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හේතුවෙන් වීම විශේෂත්වයක්. 
 
මෙවන් පසුබිම ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද අළුයම වන විට සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. 
 
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75. 99ක් ලෙස සටහන් වූ අතර එය සියයට 2.91ක වැඩි වීමක්. 
 
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79. 18ක් ලෙස දැක්වෙන අතර එය සියයට 2. 82ක් වැඩි වීමක් ලෙස පෙන්නුම් කරනවා.
 
මේ අතර, අමෙරිකානු පහරදීම් මැද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද හමුවීමට නියමිතයි.
 
ඉරාන විදේශ ආමාත්‍යවරයා සදහන් කළේ, ඊශ්‍රායලය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත්, ප්‍රථමයෙන් ඊශ්‍රායලය සිය ගුවන් ප්‍රහාර නතර කළ යුතු බවයි. 
 
එසේම ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග රාජ්‍ය තාන්ත්‍රිකභාවය පාවාදීමක් ලෙස හැඳින්විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා. 
 
මෙවන් පසුබිමක ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය ද හදිසියේ රැස්වී තිබෙනවා. 
 
ඒ, අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්. 
 
කෙසේ වෙතත් අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බවයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබුණේ. 
 
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඉරානයේ නායකත්වය සම්පූර්ණයෙන් වෙනස් විය යුතු බවයි.
 
 කෙසේවෙතත් තමන් ඉරානයට පහර දෙන්නේ, එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුණින් නොවන බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළා. ඇමෙරිකාව ඉරානයට පහර දෙන්නේ, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම සහ ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවැතීම ලෝකයටම තර්ජනයක් වන බැවින් බවයි ඔහු කියා සිටියේ. 
 
එමෙන්ම පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් පවසන්නේ පැය 18ක් පුරා සිදුකළ මෙම ප්‍රහාරය ඔපරේෂන් මිඩ් නයිට් හැමර් ලෙස නම් කළ බවයි. 
 
එය ඉතිහාසගත වන්නේ බන්කර් බස්ටර් මිසයිල රැගෙන යන ඊ 2 යානා යොදාගත් විශාලතම මෙහෙයුම වන නිසා බවද ඔහු ප්‍රකාශ කළා. 
 
මීට පෙර මෙවැනි ප්‍රබල ප්‍රහාරක යානා යොදාගත්තේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට පසුව බවයි පෙන්ටගන් හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා කියා සිටියේ. 
 
මෙම ප්‍රහාර හමුවේ ඉරානයේ ෆෝඩෝ, එස්ෆහාන් සහා නටාන්ස් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුන සම්පුර්ණයෙන් විනාශ කළ බවයි අමෙරිකාව නිවේදනය කළේ. 
 
මේ අතර, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් චීනය, රුසියාව ඇතුලු විදෙස් රටවල් සිය ප්‍රතිචාරය දක්වා තිබෙනවා

Search