ප්‍රංශ රජය සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කර තිබේ.
මෙම ද්විපාර්ශ්වික ණය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්යක්ෂ ජනරාල්, විලියම් රූස් විසින් අත්සන් කරන ලදී.
මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මීට අදාළ නිල අත්සන් කිරීමේ උත්සවයක් ඊයේ (ජුනි 16) කොළඹදී පැවැත්වුණ බව ය.
එම නිවේදනය සඳහන් කර ඇත්තේ, ප්‍රංශ ජනරජය සහ ලංකා ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බව ය.
ජපානය සහ ඉන්දියාව සමග නිල ණය හිමි කමිටුවේ සම සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීමේදී ප්‍රංශ ජනරජය වැදගත් කාර්යභාර්යයක් ඉටු කළ බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ලගාකරගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමගින් හැකියාව ලැබී ඇත