කොළඹ ගල උඩ සටන හෙට

කොළඹ ගල උඩ සටන හෙට

කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පවසනවා. බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී කොළඹ මහනගර සභාවේ බලය තීරණය වනවා. 

 
කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 
 
පසුගියදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් බහුතර බලයක් දිනා ගැනීමට කිසිදු තනි පක්ෂයකට නොහැකි වීම මත තවමත් නගරාධිපති ධූරය පවතින්නේ හිස්වයි. 
 
ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ සභික ධුර 48ක් හිමි වූ අතර සමගි ජන බලවේගය සහ සෙසු පක්ෂ අතර සභික ධුර 64 ක් බෙදී ගියා. 
 
1865 වසරේදී කොළඹ මහ නගර සභාව ස්ථාපනය කළ අතර, එහි පළමු හමුව පැවැත්වුණේ 1866 වසරේදීයි. 
 
පළමු සභාපතිවරයා ලෙසින් 1866 වසරේ ජනවාරි මාසයේදී චාර්ල්ස් පීටර් ලයාඩ් වැඩ භාර ගත්තා. 
 
1937 වසර දක්වා කොළඹ නගර සභාවේ පරිපාලනය විදේශිකයින් සතු වූ අතර, පළමු ලාංකීය නගරාධිපතිවරයා වූයේ 1937 වසරේ මැයි මාසයේදී වැඩ භාර ගත් රත්නසෝති සරවනමුත්තු යි. 
 
එතැන් පටන් නගරාධිපති ධුර 31ක්, නගරාධිපතිවරුන් 25 දෙනෙකු යටතේ පාලනය වූ විශාලම නගරය සහ මුල්‍ය කේන්ද්‍රස්ථානය මෙවර පත්වන්නේ 26 වැනි නගරාධිපතිවරයා අතටයි.
 
නගරවාසීන්ට යහපත් දිවි පෙවෙතක් උරුම කරදීම, නගර සංවර්ධනය සහ අත්‍යාවශ්‍ය සේවා සැපයීම මූලික කරගත් කොළඹ මහ නගර සභාවේ වගකීම් පැවරෙන සභිකයින් ගණන 119ක්. 2023 වසරේ මාර්තු මස 19 වැනිදා රෝසි සේනානායකගෙන් හිස් වූ නගරාධිපති ධුරය වෙනුවට එතැන් පටන් මේ දක්වාම කොමසාරිස් පාලනයක් යටතේ පවතිනවා. 
 
එවන් පසුබිමක බලය පිහිටුවීම සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක්වූ කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය හෙට දිනයේදී පැවැත්වීමට නියමිත අතර කොළඹ මහ නගර සභාවේ මුල් පුටුවේ හිමිකරු තෝරා ගන්නේ ද හෙටයි. 
 
පසුගිය දිනවල කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම පිළිබඳව ප්‍රධාන පක්ෂ අතරේ දැඩි තරගකාරීත්වයක් ද පැවතියා. 
 
මේ අතර, පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත්වූ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 29 දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරියේදී අද දිවුරුම් දුන් අතර, මන්ත්‍රිවරියන් 11 දෙනෙකුද ඒ අතර සිටිනවා. 
 
එමෙන්ම, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රිවරුන් සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රිවරුන්ගේ හමුවක් අද කොළඹ දී පවත්වා තිබෙනවා. 
 
මේ අතර, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ මහජන මතයට අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය යුතු බවයි.

Search