‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා ජුනි මස අගදී ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව තිබෙනවා. මෙලෙස මානව හිමිකම් කොමසාරිස්වරයකු මෙරටට පැමිණෙන්නේ වසර 9කට පසුවයි. මෙයට පෙර අවසාන වරට 2016 පෙබරවාරි මාසයේදී එවක කොමසාරිස් අල් හුසේන් මෙහි පැමිණියා. මෙවර වත්මන් මහකොමසාරිස්වරයාගේ සංචාරය ඉතා සුවිශේෂ එකක් වනවා. එයට ප්‍රධානතම හේතුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාවට අදාළව සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි. එනම් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා නව රජය ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට මහකොමසාරිස්වරයා කටයුතු කරන හෙයිනි. ඔහුගේ ඉදිරි සංචාරයේදී මෙම විෂය ගැන දැඩි අවධානයක් යොමුකෙරෙනු ඇත…’ Sri Lanka Latest News
මානව හිමිකම් විෂයට අදාළව මෙසේ ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය ප්‍රකාශ කරන්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට පසුගියදා අසන්නට ලැබුණේ මෙරට දේශපාලන විශ්ලේෂකයකුගේ මාධ්‍ය විග්‍රහයක් හරහාය. වත්මන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වන වොල්කර් ටර්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට අදාළව මෙම විග්‍රහය සිදුකෙරී තිබිණි. එහි තවදුරටත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.
‘මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය තීරණාත්මක අවස්ථාවකට පැමිණෙන්නේ ජාතික ජන බලවේගයේ රජය දිගුකාලීනව පැවැති මානව හිමිකම් ගැටලු විසඳීම සඳහා අඛණ්ඩ ජාත්‍යන්තර පීඩනයකට මුහුණ දෙන බැවිනි. මෙහිදී විශේෂයෙන් මතභේදාත්මකව ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සාක්ෂි රැස්කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියයි. මෙම ගැටලුවට මුහුණ දීමට සිදුවූ පසුගිය අනුප්‍රාප්තික ආණ්ඩු තුනම එයට දැඩි ලෙස විරුද්ධ වී ඇත. ඉහත කොමිසමේ ක්‍රියාවලිය හරහා මානව හිමිකම් අපරාධවලට අදාළව මූලාශ්‍ර 470කට අධික සංඛ්‍යාවකින් රැස්කරන ලද වගවීමේ ක්‍රියාවලීන් සඳහා භාවිත කළ හැකි අයිතම (සිද්ධීන්) 96,215ක් අඩංගු විය. කෙසේ වෙතත් මෙවැනි වටපිටාවකදී මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ සංචාරයේ අභියෝගයට මුහුණ දීමට එන්.පී.පී. රජයට පහසු කාර්යයක් නොවනු ඇත. එනම් මෙහිදී ප්‍රධානතම අර්බුදය ලෙස පෙනීයන්නේ වත්මන් ජාතික ජන බලවේග රජය මේ දක්වා බලයේ සිටි ප්‍රථම මාස 06 තුළ කොමිසමේ යෝජනාවේ ඇති කැපීපෙනෙන ගටලු විසඳීමට සැලකිය යුතු දෙයක් සිදුකර නොතිබීමයි. ජනවාර්ගික ගැටුම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් තමන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ පැහැදිලි කිරීමට රජයට සිදුව තිබේ….’
මෙම සුවිශේෂ විශ්ලේෂණය තවදුරටත් මෙසේ කියා සිටියි. හෙට අනිද්දාම සිදුවන මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී වත්මන් නව රජය මුහුණ දීමට නියමිත අර්බුදය ගැන මෙහිදී අර්ථකථනය කෙරෙයි.
‘ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්කරන ලද ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රශංසනීය පොරොන්දු කීපයක්ම ඇති අතර, ඒවා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළහොත් ජාතික සංහිඳියා ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී නීති අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ඔවුන්ගේ නිදහස් සමාජගත කිරීම සහතික කිරීම ඇතුළුව තවත් පොරොන්දු ගණනාවක්ම වෙයි. මෙම පොරොන්දු ඉදිරියට ගෙන යෑමට රජය අපොහොසත් වීම නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් දැන් සිදුකරන විවේචනයට රජය ගොදුරු වෙයි. මෙම පොරොන්දු බොහොමයක්ම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මෙතෙක් රජයට හැකිවී නොමැත. මේ නිසා රජය මානව හිමිකම් විෂයේදී දැඩි අර්බුදයකට මැදිවනු ඇත…’
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එසේම ඔබට පැහැදිලි කරන මෙම විෂය කුමක්දැයි බොහෝ දුරට අවබෝධ වනවා ඇත. එසේනම් ඉහත විශ්ලේෂණය සිදුකළේ කවරකු විසින්ද? ශ්‍රී ලංකාවේ සිටින කීර්තිමත් විද්වතකු වන ආචාර්ය ජෙහාන් පෙරේරා විසින් මෙම විශ්ලේෂණය සිදුකර තිබිණි. ඉංග්‍රීසි පුවත්පතකට සිදුකළ මෙම ලේඛනය දිගු එකකි. එහෙත් සියල්ලක්ම ලියන්නට මෙහි ඉඩකඩ මදිය. ආචාර්ය ජෙහාන් පෙරේරා යනු ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු පසුගිය වසර 29ක් පුරා එම තනතුර දැරීය. ඔහු ලොව අතිශය කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අර්බුදය ගැන ඔහු තම විශ්ලේෂණය සිදුකර ඇත.
මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන වත්මන් රජය පැත්තෙන් අසන්නට ලැබුණේ අපූරු කතාවකි. පාර්ලිමේන්තුවේ වත්මන් සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය කළේය.
‘දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජයේ ප්‍රතිපත්තියේ හෝ අභිලාෂයන්ගේ හෝ කොටසක් නොවන නමුත් නව නීතියක් හඳුන්වා දෙනතුරු එය ප්‍රවේශමෙන් භාවිත කිරීම රජයේ බලාපොරොත්තුවයි. නව නීතියක් කෙටුම්පත් කරනතුරු මෙම පනත රටට අත්‍යාවශ්‍ය වෙනවා. වර්තමානයේ මෙම රජයේ ස්ථාවරය වන්නේ එයයි. එහෙත් නව නීති රාමුවක් ස්ථාපිත කරන තෙක් එම පනත භාවිත කරන බැව් නැවත වරක් අවධාරණය කර සිටිනවා…’
දැනට වසර 45කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ බලගැන්වී තිබෙන ප්‍රධානතම නීති පද්ධතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙරට තුළ බොහෝ ආන්දෝලනයකට ලක්ව ඇති පනතකි. එසේ වන්නේ එම පනත තුළින් සිදුවන යහපත මෙන්ම අයහපත ගැනද බොහෝ පාර්ශ්ව සිදුකරනු ලබන විචාරයන් හේතුවෙනි. මේ තාක් බලගැන්වී තිබෙන මෙම පනත හරහා මෙරට බලයෙහි සිටි රජයන් ගණනාවක්ම විවිධ පල ප්‍රයෝජන ලබා ගත්තේය. මෙම පනත හරහා එම රජයන් බලතල අයුතු ආකාරයට පරිහරණය කළේ යැයි දෙස් විදෙස් පාර්ශ්ව ගණනාවක්ම එකල දෝෂාරෝපණය කළේය. එහෙයින් මෙම දරදඬු පනත වහා අහෝසි කර දැමිය යුතු යැයි කරුණු ප්‍රකාශ කෙරිණි. මෙම වටපිටාවේදී මෙම පනතට තදබල විරෝධයක් ප්‍රකාශ කළ මෙරට සිටින ප්‍රධානතම පාර්ශ්වයක් වූයේ වත්මන් රජයේ ජාතික ජන බලවේගය පක්ෂයයි. ඔවුන් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැති සමයේදී මෙම තදබල විරෝධය අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර සිටියේය. ඔවුන් බලයට පත්වූ විට මෙම පනත අහෝසි කර දැමීමක් ජනතාව බලාපොරොත්තු වුවද මෙතෙක් එවැන්නක් සිදුව නැත. මෙලෙස ජාතික ජන බලවේග රජය මේ වනවිට බලයට පත්ව මාස 06ක කාලයක් ඉක්මවා ඇතත් එවැනි පොරොන්දුවක් ඉටුව නොමැත. වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක විසින් සිදුකරන ලද ඉහත ප්‍රකාශය අසන්නට ලැබෙන්නේ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදීය. එයින් පැහැදිලිවම අවබෝධ වන්නේ දැනට වසර 45ක් පුරා බලගැන්වී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙම නව රජය විසින්ද මෙම අවස්ථාවේදී අනුගමනය කරනු ලබන බවයි.
ශ්‍රී ලංකා නව රජය පසුගියදා ප්‍රථම වතාවට මානව හිමිකම් කොමිසමේ 58 වැනි සැසිවාරයට සහභාගි වූ අතර, රජය 50 වැනි සැසිවාරයට මෙම ජුනි 19 සිට ජූලි 09 දක්වා සහභාගි වනු ඇත. මෙවර සැසිවාරයේදීද පෙර සැසිවාරවල මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ මානව හිමිකම් චෝදනා එල්ල වනු ඇතැයි මානව හිමිකම් විශ්ලේෂකයන් කරුණු ප්‍රකාශ කරයි. මෙම වත්මන් නව රජය පත්වීමෙන් පසුවද මිනිස් ඝාතන රැල්ලක් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වී තිබීමද මෙම කරුණු අතරට අයත් වනු ඇත. මෙරට තුළ ප්‍රබල පාතාල අපරාධ රැල්ලක් සිදුවෙමින් තිබෙන ආකාරයද දක්නට හැකිය. මෙම වසර (2025) ආරම්භයේ සිට මේ දක්වා කෙටි කාලයට මිනිස් ඝාතන 35කට අධික ප්‍රමාණයක් සිදුව ඇත. මේ අතරම මෙයට පෙර බලයේ සිටි රජයන් විසින් සිදුකරන ලද විවිධ මානව හිමිකම් අපරාධද මෙවර සැසිවාරයේදීද අවධානයට ගනු ඇතිය. එම අපරාධ සිදුකරන ලද අපරාධකරුවන් නීතියේ රැහැනට ගැනීමට අවශ්‍ය කාර්යභාරයන් ගැනද සාකච්ඡා වනු ඇතිය. දින 40ක පමණ දීර්ඝ කාලයක් සැසිවාරය සඳහා තිබෙන හෙයින් මේ වනවිට මෙම තීන්දු තීරණ සහ නිගමනයන් ගැන ස්ථිර වාර්තාවක් සැකසී නොමැත. අවසාන වාර්තාවලදී ඒවා එළිදැක්වීම සිදුකෙරෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වසරකට සැසිවාර තුනක් පවත්වනු ලබයි. මේ සියල්ලක්ම සඳහා ශ්‍රී ලංකාව සහභාගි වනු ලබයි. පසුගිය කාලයේදී සැසිවාර ගණනාවකදීම ශ්‍රී ලංකාවට එරෙහිව තදබල මානව හිමිකම් චෝදනා ගොනු කළේය. එහෙත් එම බොහෝ චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළේය. ඒ වුවද ශ්‍රී ලංකාවට එරෙහිව නීතිමය පියවර ගත් ආකාරයද දක්නට හැකි විය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අපරාධ චෝදනා අදාළව නීතිමය පියවර ගැනීමට සහ පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකාව වෙනුවෙන්ම වෙන්වූ විශේෂ කාර්යාලයක්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා ප්‍රධාන මූලස්ථානයේදී විවෘත කරන ලදී. එසේම පසුගිය කාලයක් පුරාම මානව හිමිකම් අපරාධ චෝදනාවලට ලක්වනු ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව විවිධ සම්බාධක ගණනාවක්ම පනවන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන් හා නිගමනයන් මත මෙම ශ්‍රී ලාංකිකයන්ට විවිධ රටවලින් සම්බාධක පනවන ලදී. මෙම සම්බාධක සඳහා සංචාරක තහනම්ද අදාළ විය. මෙම පියවරයන්ට අමතරව තවත් සුවිශේෂ කරුණක් ලෙස වාර්තා වී තිබුණේ නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා තිබෙන ජාත්‍යන්තර අපරාධ මහාධිකරණය තුළ මෙම අපරාධකරුවන්ට එරෙහිව නඩු පැවරීමට යම් පියවරයන් ගැනීමය. එහෙත් එම නීතිමය කටයුතු මෙතෙක් ස්ථාවරව සිදුව නොමැත. මේ ආකාරයට අප සිතනවාටත් වඩා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යනු අතිශය ප්‍රබල ජාත්‍යන්තර ආයතනයකි.
ප්‍රියන්ත හෙට්ටිගේ